ලෝක සාමය සහ සංවර්ධනය වෙනුවෙන් චීනය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරයි
2024-07-31 16:52:12
Share with:

මානව සහ භෞතික වශයෙන් චීනය තුළ තුලනාත්මක සහ වේගවත් සංවර්ධනයක් සිදු වී ඇත. එමෙන්ම දරිද්‍රතාවය සම්පූර්ණයෙන් තුරන් කරමින්, උසස් තාක්ෂණික දියුණුවක් ළඟා කර ගනිමින් වෙනත් කිසිදු රටකට නොදෙවෙනි මට්ටමකට චීනය සිය සාර්ථකත්ව ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ චීනයේ නිල සංචාරයක නිරත වන අතරතුර බෙයිජිංහි දී චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

චීනයේ වර්තමාන සංවර්ධනය ලෝකය දැවැන්ත පරිවර්තනයකට යොමු කිරීමට සමත්ව ඇති අතර ආර්ථික බලවතෙක් බවට පත්වෙමින් තාක්ෂණික හැකියාව ද එයට මුසු කරමින් සිය ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කර තිබේ. විශේෂත්වය වනුයේ චීනය සිය සංවර්ධන ප්‍රතිලාභ අසල්වැසි සහ මිත්‍ර රටවල් අතර මෙන්ම සමස්ත ලෝකය සමග ‍හුවමාරු කර ගනිමින් සිටීමයි. පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ දී ගත් තීරණය මීළඟ අදියරේ සැලසුම් සඳහා වඩාත් වැදගත් වනු ඇති බව ද හෙතෙම කියාසිටියේය.

චීන - ශ්‍රී ලංකා සබඳතාවට ශතවර්ෂ ගණනාවක දීර්ඝ ඉතිහාසයක් පවතී. එමෙන්ම වර්ෂ 1952 දී රබර් සහල් ගිවිසුම ආරම්භ වීමත්, ඒ සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිහිටුවීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් චීනය ලබා දී තිබේ. ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ පැවති ආර්ථික අර්බුදයේ දී අධ්‍යාපන අංශයේ සංවර්ධනය වෙනුවෙන් චීනය විශාල දායකත්වයක් චීනය ලබා දුන්නේය. එමෙන්ම සිය තාක්ෂණික දියුණුව ඔස්සේ ප්‍රතිලාභ ලබා දෙමින් ලංකාවේ පාසල් ඩිජිටල්කරණය කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දී ඇති අතර එහි නව පියවරක් මෙම සංචාරය සමග සනිටුහන් බව හෙතෙම ප්‍රකාශ කළේය.

වර්තමානයේ චීනය සේද මාවත කේන්ද්‍ර කර ගනිමින්“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. ඒ යටතේ ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන කොළඹ වරාය නගරය ලංකාවේ ආර්ථික පරිවර්තනයක් සිදු කරන ව්‍යාපෘතියක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ අයුරින් විවිධ රටවල සංවර්ධනයට දායක වන චීනය යුද ගැටුම් ඇති නොකර, සාකච්ඡා මාර්ගයෙන් පවතින ගැටලු විසඳා ගනිමින් ලෝක සාමය ඇති කිරීම සඳහා‍ විශාල පිටුබලයක් ලබා දී ඇත. එය ලෝකයේ බලතුලනය සඳහා ඉතා වැදගත් වන බව ද ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

චීනයේ වර්තමාන සාර්ථකත්වය සඳහා ප්‍රමුඛ හේතුවක් වනුයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහ විනයයි. ඒ ඔස්සේ විශාල ජනගහනයකට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට චීනය සමත් ව ඇත. චීනය සිය අභ්‍යන්තර සංවර්ධනය සාක්ෂාත් කර ගනිමින් ලෝකයේ යුද ගිනි නිවීමට නායකත්වය ලබා දී ලෝක සාමය සහ සංවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව ද හෙතෙම අවධාරණය කරයි. එමෙන්ම ‍ඉදිරියේදී සමරනු ලබන චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රමුඛ රජයට සහ ජනතාවට සිය සුබ පැතුම් පිරිනමන බව ද අධ්‍යාපන අමාත්‍ය නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම