කොළඹ වරාය නගරයේ සෙල්ෆි ඡායාරූප සඳහා ගාස්තු අය නොකෙරේ
2022-01-29 14:27:04
Share with:

කොළඹ වරාය නගරයේ සෙල්ෆි ඡායාරූප සඳහා ගාස්තු අය නොකෙරේ_fororder_preshoot

වරාය නගරයේ වාණිජ අරමුණු වෙනුවෙන් සිදුකරන ඡායාරූප ගැනීම් හෝ වීඩියෝ පටිගත කිරීම් සඳහා පමණක් ගාස්තු අයකිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එම ආදායම අදාළ පරිශ්‍රයේ නඩත්තු කටයුතු සඳහා භාවිතා කෙරෙනු ඇත.

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. මේ වනවිට එම පරිශ්‍රයේ පෞද්ගලික උත්සව සහ වෘත්තීය/ වාණිජමය ඡායාරූප හා වීඩියෝ රූගත කිරීම් සම්බන්ධයෙන් ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතී. මේ නිසා ව්‍යාපෘති සමාගම, වාණිජ අරමුණු සඳහා සිදුකරන ඡායාරූප ගැනීම් හෝ වීඩියෝ පටිගත කිරීම් සඳහා පමණක් ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

මුදල් ගෙවා සිදුකරන ඡායාරූප ගැනීම් සහ වීඩියෝ දර්ශන රූගත කිරීම් සඳහා, පෙරවරු 9.00 ට පෙර හෝ වෙනත් සුදුසු වේලාවක් යොදාගත හැකි වේ. ඒ සඳහා ගතවන කාලය සහ සහභාගි වන පිරිස අනුව ගාස්තු අය කෙරෙන අතර රු. 30,000 සිට ඉහළට මේ ගාස්තු අය කෙරේ. මේවා  නිසියාකාරයෙන් වෘත්තීය ඡායාරූප ශිල්පීන් හෝ වීඩියෝ ශිල්පීන් යොදවා සිදු කළ යුතු වේ.

කොළඹ වරාය නගරය බැලීම සඳහා පැමිණෙන මහජනතාව තමන්ට සිහිවටනයක් ලෙස ගන්නා ඡායාරූප හෝ වීඩියෝගත කිරීම් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බවද මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී කොළඹ චෙක් පෝට් සිටි කලම්බු සමාගම පවසා තිබේ. ඒ නිසා මේ ගාස්තු අයකිරීම කිසිසේත්ම කොළඹ වරාය නගරය බැලීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට බලනොපායි .

කොළඹ වරාය නගරයේ දී සෙල්ෆි ඡායාරූප සඳහා ගාස්තු අයකරන බවට පැතිරෙන වාර්තා අසත්‍ය වේ. එසේම, කොළඹ වරාය නගරයේදී ගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය මෙන්ම පදනම් විරහිත ද වේ.

පෞද්ගලික උත්සව, විවාහ මංගලෝත්සව, නිෂ්පාදන හෝ විලාසිතා ප්‍රවර්ධන කටයුතු, ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් හෝ වෙනත් වාණිජ අරමුණු සඳහා සිදුකරන ඡායාරූප ගැනීම් හෝ වීඩියෝ පටිගත කිරීම් මගින් ලැබෙන ආදායම, කොළඹ වරාය නගරයේ මහජන උද්‍යාන, වැසිකිළි පවිත්‍රකරණ හා කසළ ඉවත් කිරීම වැනි නඩත්තු කටයුතු සඳහා භාවිත කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන