නවනිර්මාණ සහ නවෝත්පාදන යනු යම්කිසි රටක් හෝ ජාතියක ප්‍රගමනය සාක්ෂාත්කර ගැනීමට උපකාරීවන එන්ජිමකි. එවන් විශිෂ්ට ව්‍යායාමයක් සඳහා කැපවීමේ දී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවෙයි. එහෙත්, ඒවා හමුවේ ධෛර්යවන්තව නිර්මාණකරණයේ නිරත විය යුතුමය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෝ ඕ ආසියා සංසදයේ 2018 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් චීනයේ පැරණි කාව්‍යමය වාක්‍යයක් උපුටා දැක්වීය. ඉන් කියවෙන්නේ ‘ ජනතාවට හිතකර වන දෙයක් උදෙසා නම් මුතුන් මිත්තන්ගේ ක්‍රමවේදය වුවත් බැහැර කළ යුතු අතර, සාර්ථකත්වය ළඟා කරගැනීමේ ප්‍රයත්නයේදී පැරණි රෙගුලාසීන් වුව අතහැර දැමිය යුතුය ’ යන්නයි. ප්‍රතිසංස්කරණය හා නිර්මාණකරණය යනු, මානව සමාජය උසස් මට්ටමකට රැගෙන යාමේ මූලික ශක්තියකි. ප්‍රතිසංස්කරණය හා නවෝත්පාදනය ප්‍රතික්ෂේප කරන අය යුගයේ පසුපසට වැටෙනු ඇති අතර ඉතිහාසය විසින් බැහැර කරනු ඇති බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.
‘ චීන කොමියුනිස්ට් පක්ෂය ගත වූ සියවස තුළ අරගලවලින් ලබාගෙන ඇති දැවැන්ත ජයග්‍රහණ හා ඓතිහාසික අත්දැකීම් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය ’ මගින් ‘ නිර්මාණකරණයේ හා නවෝත්පාදනයේ ’ එල්බ සිටීම, ප්‍රබල අත්දැකීමක් ලෙස පිළිගෙන ඇත. 2020 වසර උදාහරණයක් ලෙස ගැනීමේදී, චීනය පර්යේෂණය හා සංවර්ධනය සඳහා කළ ආයෝජනයන් හි වටිනාකම ඇ.ඩො. බිලියන 374ක් පමණ වේ. එසේම, විද්‍යා හා තාක්ෂණ ප්‍රගති දායකත්ව අනුපාතය 60% ඉක්මවා ඇත. ‘ ගෝලීය නිර්මාණශීලීත්ව දර්ශක ’ පිළිබඳ ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී, 2015 වසරේ පැවති 29වැනි ස්ථානයේ පසු වූ චීනය 2020 වසර වන විට 14වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් තිබේ.
FAST එනම් මීටර් 500ක අක්ෂයක් සහිත ගෝලාකාර රේඩියෝ දුරේක්ෂය, අධිවේගී දුම්රිය, Shenzhou අභ්‍යවකාශ යානා, Hong Kong-Zhuhai-Macao පාලම, ස්වයං බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සතු C919 මඟී ගුවන් යානාව යනාදිය චීනයේ නිර්මාණශීලීත්වය හා නවෝත්පාදන ශක්‍යතාවයේ විශිෂ්ටත්වය පිළිබිඹු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වන, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංගික හල්වතුර පෙන්වාදෙන්නේ දියුණු වෙමින් පවතින රටකට සංවර්ධනය සඳහා පවතින ප්‍රායෝගිකම ක්‍රියාමාර්ගයක් ලෙස නව නිර්මාණ සහ නවෝත්පාදන සමග නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම හඳුන්වාදිය හැකි බවයි. රටක නව නිර්මාණ බිහිවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම නව නිර්මාණ නවෝත්පාදන බවට පත්විය යුතුය. අප සිටින්නේ අපනයන ආර්ථිකයක වීම නිසා, කිසියම් රටක පවතින දෙයක් ප්‍රතිනිර්මාණයෙන් රටක සංවර්ධනයට කළ හැකි දායකත්වය අල්පය. නවෝත්පාදනයේ දී පවතින තරගකාරිත්වය අඩු වන බැවින් සංවර්ධනයට විශාල බලපෑමක් ඉන් එල්ල කළ හැකිවේ. විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයෙන් රටක සංවර්ධනයට සුවිශාල දායකත්වයක් සැපයේ. ලෝකයේ වෙනස්වීම්වලට ගැලපෙන අයුරින් රටේ තාක්ෂණය යාවත්කාලීන කිරීම, විද්‍යා හා තාක්ෂණික අතින් රටක් සංවර්ධනය කිරීමට ඇති ප්‍රධානම අවියයි. ලෝකයේ මෙතෙක් සැඟවී පැවතුණු දැනුම දැන් පොදු දෙයක් බවට පත්ව තිබේ. තොරතුරු තාක්ෂණික විකාශනය හේතුවෙන් එය තවදුරටත් සැඟවුණු දැනුමක් නොවේ. මූල්‍යමය හැකියා අතින් වෙනස්කම් පැවතුණද ඕනෑම රටකට විද්‍යා තාක්ෂණ ඥානයෙන් පිරිපුන් පිරිසක් සිටී නම් සාර්ථක ඉදිරි ගමනක් අත්පත් වනු නිසැක බව ද මහාචාර්ය රංගික හල්වතුර තවදුරටත් පෙන්වා දෙයි.