Connecticut න්‍යෂ්ටික සබ්මැරීනයට සිදු වූ අනතුර පිළිබඳව ඇමරිකාව ජගත් ප්‍රජාව ඉදිරියේ සත්‍යය කිව යුතුයි.
2021-11-04 19:50:17
Share with:

පසුගිය ඔක්තෝබර් මස 2වන දින දකුණු චීන මුහුදට අනවසරයෙන් ඇතුළු වූ ඇමරිකාවේ Connecticut නම් න්‍යෂ්ටික සබ්මැරීනය අනතුරකට ලක් විය. ඇමරිකානු නාවික හමුදාව පසුගිය දා නිකුත් කළ පරීක්ෂණ වාර්තාවකට අනුව Connecticut න්‍යෂ්ටික සබ්මැරීනය නාඳුනන මුහුදු කන්දක ගැටීමෙන් බරපතල හානි සිදුවී ඇත. එහෙත් එම සබ්මැරීනය දකුණු චීන මුහුදේ යාත්‍රා කිරීමේ අරමුණ, අනතුර සිදු වූ ස්ථානය සහ අනතුරින් න්‍යෂ්ටික කාන්දුවක් සිදු වුණේ ද යන්න වැනි වැදගත් කරුණු පිළිබඳව ඇමරිකානු නාවික හමුදාව පැහැදිලි කර නොමැත.

මෑත වසරවල ඇමරිකානු නෞකා දකුණු චීන මුහුදු ප්‍රදේශයේ නිරන්තරයෙන් යාත්‍රා කරමින් විවිධ හමුදා මෙහෙයුම්වල නිරත වේ. විශේෂයෙන් මේ වසරේ එවන් හමුදා මෙහෙයුම් වඩාත් වැඩි වී තිබේ. පසුගිය ජූලි මස වන විට ඇමරිකාව නෞකා හා ගුවන් යානා යොදවමින් දකුණු චීන මුහුදේ ඔත්තු බැලීම් 2000ක් පමණ සිදු කර ඇත. ඇමරිකාවේ ඉහළ පෙළේ න්‍යෂ්ටික සබ්මැරීනයක් වන  Connecticut සබ්මැරීනය සතුව ඇත්තේ ප්‍රබල ප්‍රහාරක හා ඔත්තු බැලීමේ හැකියාවකි.‍ මෙවන් සබ්මැරීනයක් දකුණු චීන මුහුදට පැමිණියේ මන්ද යන්න නිතැතින්ම නැගෙන ප්‍රශ්නයකි.

Connecticut සබ්මැරීනය අනතුරට ලක් වීමෙන් න්‍යෂ්ටික කාන්දුවක් සිදු වුණේ දැයි යන්න තවත් ප්‍රශ්නයකි. එන්ජිමට බලපෑමක් සිදු නොවූ හෙයින් සබ්මැරීනය විධිමත් අයුරින් යාත්‍රා කරන බව ඇමරිකාව නිවේදනය කර ඇතත්, එම නිවේදනයේ සත්‍යතාව පිළිබඳ සැකයක් පවතී. ඇමරිකානු හමුදා පාර්ශ්වය කිසි දිනෙක සත්‍ය නොපැවසීම ඊට හේතු වී තිබේ. දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය කඩාකප්පල් කරමින් සිය ආධිපත්‍යය එම මුහුදු ප්‍රදේශයේ පතුරුවා ගන්නා ඇමරිකාව, ඇත්තෙන් ම Connecticut න්‍යෂ්ටික සබ්මැරීනයට සිදු වූ අනතුර පිළිබඳ සත්‍යය ජගත් ප්‍රජාව ඉදිරියේ කිව යුතු යැයි අපි තරයේ ඉල්ලා සිටින්නෙමු.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන