ඇමරිකාව, මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති බව ලොවට පෙන්වීමට උත්සාහ දැරුවත්, ඔවුන් අනෙකුත් රටවලට කරන බලපෑම් මගින් ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය මනාව පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දයා ලංකාපුර මහතා කියා සිටී. උදාහරණයක් ලෙස, මියන්මාරය, ශ්‍රී ලංකාව වැනි රටවලට කරන බලපෑම්වලින් එය පැහැදිලි වේ. එහෙත් ඊශ්‍රායලය, පලස්තීනයට එරෙහිව කරන ඝාතන සම්බන්ධයෙන් ඇමරිකාව කිසිදු වචනයක් නොකියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඒ පිළිබඳ යෝජනාවටත් ඇමරිකාව විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ලංකාපුර මහතා පෙන්වාදෙයි.
නවයයි එකොළහ සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයේ බින් ලාඩ්න් අල්ලා ගැනීමේ ප්‍රයත්නයේදී, හමුදා යොදවා වසර විස්සක් පමණ තිස්සේ කළ යුද්ධයේදී සාමාන්‍ය ජනතාව දහස් ගණනක් ඝාතනයට ලක්වූහ. එම ජනතාවගේ මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිදු සහන වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක වූයේ නැත.
ඇමරිකාව තුන්වන ලෝකයේ රටවලට විශාල ලෙස මුදල් ලබා දී සුලු සුලු ප්‍රශ්න උද්ගත කරවා, ඒවායේ වාර්තා ගෙන්වාගෙන, මානව හිමිකම් කඩකළ බව දන්වා ජිනීවා කොමිසමට ඉදිරිපත් කොට, එම රටවල ආණ්ඩු පෙරළීමට කටයුතු කරයි. මෙම ක්‍රියාපිළිවෙත ඇමරිකාවේ දේශපාලන න්‍යායපත්‍රයක් සේම දෙබිඩි ප්‍රතිපත්තියක් බව පැහැදිලි වන්නේ යැයි ලංකාපුර මහතා ප්‍රකාශ කරයි. ඉරාකය, ලිබියාව වැනි රටවලටත් එවැනිම දේ සිදුකළ ආකාරය පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරනු ඇත. ඉරාකයේ සදාම් හුසේන්ට රසායනික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් බොරු චෝදනා ඉදිරිපත් කොට එරට ආක්‍රමණයට උත්සාහ දැරීය. එහෙත්, අවසානයේ කිසිදු සාක්ෂියක් ලැබුණේ නැත.
ඒ අතින් ගත් කල චීනයේ ප්‍රතිපත්තිය බොහෝ වෙනස් බව ලංකාපුර මහතා කියාසිටී. මේ වනවිට ආර්ථික හා සමාජයීය වශයෙන් ද සෙසු රටවලට වඩා ඉදිරියෙන් සිටින චීනය, ලෝකයේ සෑම රටක් කෙරෙහිම මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. කිසිදු රටක්, යටත් විජිතයක් බවට පත්කරගැනීමට ඔවුන්ට අවශ්‍ය නැත. ජනාධිපති ෂී ජින් පිං ගේ එක් තීරයක් එක් මාවතක් යෝජනාව මගින් සෙසු රටවල් අතර සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දෙයි. එහෙත්, ඇමරිකාව ඊට සම්බාධක පැනවීමට කටයුතු කරන ආකාරයක් පෙනී යන බව ද ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දයා ලංකාපුර මහතා පෙන්වාදෙයි.