ගෝලීය දේශගුණික පාලනය සඳහා චීන ජනාධිපතිවරයාගෙන් යෝජනා තුනක්
2020-12-13 18:50:27
Share with:

වීඩියෝ ආකාරයෙන් ඊයේ (12) රාත්‍රි පැවති දේශගුණික අභිලාෂ සමුළුවට එක් වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දේශනයක් පැවැත්වීය. මීට වසර 5කට පෙර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම එක්සත් ජාතීන්ගේ පැරිස් සම්මේලනයේදී සම්මත කෙරිණ. පැරිස් ගිවිසුමේ සාමාජික රටක් වශයෙන් චීනය ගෝලීය දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම වෙනුවෙන් සෑම විට ම ක්‍රියාශීලි ව කටයුතු කරයි. හරිත සංවර්ධනය අවධාරණය කරමින් චීන ජනාධිපතිවරයා මේ වසරේ විවිධ අවස්ථාවලදී කියා සිටියේ 2030 වන විට චීනය කාබන්ඩයොක්සයිඩ් විමෝචනයේ උපරිමයට පැමිණ 2060 වන විට කාබන් සමතුලිතභාවය ළඟා කර ගැනීමට උත්සාහ කරන බවයි.

ඊයේ පැවති දේශගුණික අභිලාෂ සමුළුවේදී චීන ජනාධිපතිවරයා ගෝලීය දේශගුණික පාලනය පිළිබඳ යෝජනා තුනක් ඉදිරිපත් කළේ ය. දේශගුණික පාලනය වෙනුවෙන් සියලු රටවල් එක්සත් වී සහයෝගිතාව පැවැත්වීම , සිය දේශීය තත්ත්වයන්ට සරිලන ආකාරයට දේශගුණික පාලනය උපරිමයෙන් සිදු කිරීම සහ හරිත හා අවකාබන් නිෂ්පාදන හා ජීවන රටාවන් සැකසීම, එම යෝජනා තුන වේ.

කාබන් සමතුලිතභාවය වෙනුවෙන් චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇතැයි, පසුගිය දා චීන මාධ්‍ය සමූහය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා ප්‍රකාශ කර තිබේ. චීනය ගමන් ගන්නා දිශාව නිවැරදි බව හෙතෙම එහිදී පවසා ඇත. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය චීනය ඉතා වැදගත් කොට සලකන බවත් එයින් චීනය කැපී පෙනෙන ප්‍රතිඵල ලබාගෙන ඇති බවත් ලෝක දේශගුණ සංවිධානයේ මහ ලේකම් Petteri Taalas මහතා කියා සිටී. මෑත වසරවල දී හරිත සංවර්ධනය චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනයේ කේන්ද්‍රීය කොටසක් බවට පත්ව තිබේ. ඉදිරියේදී වඩාත් පරිසර හිතකාමී හා සුන්දර චීනයක් නිර්මාණය වනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන