ශ්‍රී ලංකා රජය නව නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි
2020-10-21 14:29:19
Share with:

ශ්‍රී ලංකා රජය නව නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැළදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය 15වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩකරන පුද්ගලයින්ට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත්, මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් හෝ ලබාදීමට අධිකරණයට හැකියාව ලැබෙනවා.

සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළුවන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පැළඳ සිටීම, දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගෙන යෑම, සේවා ස්ථානයට ඇතුළුවීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම, විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලසීම, සේවා ස්ථානවල උපරීම සේවා නියුක්තිකයන් සංඛ්‍යාව සහ වෙනත් පුද්ගලයින් සංඛ්‍යාව නියමිත පරිදි පවත්වා ගැනීම ආදී කරුණු ඊට ඇතුලත්ය.එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණුවලට අදාළ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා තිබෙනවා.

කොරොනා වසංගතය සඳහා කිසි‍ම නිශ්චිත ඖෂධයක් මෙතෙක් සොයාගෙන නොමැති වකවානුවකදී දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැළැදීම වැනි සරල සෞඛ්‍ය උපදේශ නිරන්තරයෙන් පිලිපැදීම අනිවාර්ය අවශ්‍යතාවයක්. මෙවැනි වසංගත තත්ත්වයකදී එම වැදගත් හා ප්‍රයෝජනවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් තදින් ක්‍රියාත්මක කිරීම තුළින් මෙම වසංගතය වැළැක්වීම අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන