දේශීය වෛද්‍ය ශිල්පය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව අධ්‍යාපනික වැඩපිළිවෙළක්
2020-08-02 15:16:19
Share with:

දේශීය වෛද්‍ය ශිල්පය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව අධ්‍යාපනික වැඩපිළිවෙළක්

චීනය කොරොනා වසංගතය මැඩලීමේදී සාම්ප්‍රදායික චීන ඖෂධ හා වෛද්‍ය ශිල්පය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මෙතෙක් චීන කොරොනා ආසාදිතයන්ගෙන් බොහෝ පිරිස සුවය ලබා ඇත්තේ සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ශිල්පය මගින් යැයි රහසක් නොවෙයි. ශ්‍රී ලංකාවේ දේශීය වෙදකමට සුවිශේෂී ඉතිහාසයක් හා වටිනාකමක් ද තිබෙනවා. එය රැක ගෙන දියුණු කිරීමට වත්මන් ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරනවා.

එහි පියවරක් වශයෙන් දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයක් ගම්පහ දී ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත් කළ යුතු බවට උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කළ යෝජනාව පසුගිය දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී අනුමත කෙරුණා. එම අනුමැතිය යටතේ දැනට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව යටතේ කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වාගෙන යන වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම අධ්‍යයනය කෙරෙහි ප්‍රමුඛතාව දක්වන විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරෙනවා. ඒ අනුව එම විද්‍යායතනයට වසරකට ඇතුළත් කරන සිසු පිරිස 120 සිට 500 දක්වා වැඩි වී, දැනට වඩා දස ගුණයකින් එම විද්‍යායතනය මගින් උපාධි හා පශ්චාත් උපාධි ලබන සිසුන් පිට වනු ඇතැයි අපේක්ෂිතයි.

වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමෙන්, ශ්‍රී ලංකාවේ දේශීය වෙදකම නවීණ විද්‍යානුකූල පර්යේෂණ අනුව දියුණු කිරීමට හා එහි තත්ත්වය හා ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය තවත් ආයුර්වේද උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා ගණනාවක් ක්‍රියාත්මක කෙරෙනවා. දේශීය වෙදකමේ ගුණාත්මක බව විද්‍යානුකූල ව දියුණු කරන පාඨමාලා ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගන්නවා.මීට අමතරව දේශීය ඖෂධ ලොව පුරා ජනප්‍රිය කරවීමට අවශ්‍ය උපාධි පාඨමාලාත් මෙම අලුත් විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. ආයුර්වේද රෝහල්වල හෙද හෙදියන්ට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබා දෙන නව පාඨමාලා ගණනාවක් ආරම්භ කිරීමටත් අපේක්ෂා කෙරෙනවා.

එම පාඨමාලා මගින් නව සිසු පරපුරකට දේශීය වෙදකම පිළිබඳ ඉහළ දැනුමක් ලබා දෙමින් රටට උචිත වෛද්‍යවරුන් පිරිසක් බිහි වීමට හැකි වනවා. දේශීය වෙදකම විද්‍යානුකූල ව දියුණු කිරීම මගින් ඇති වන අලුත් රෝහල් හා දේශීය විශ්ව විද්‍යාලය සඳහා පිටරටවල වෛද්‍ය සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට ඉඩ ලැබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රම ජනප්‍රිය වී ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන අතරම ‍‍ලොව පුරා ලාංකීය වෙදකම පිළිබඳ ප්‍රචාරයක් ලැබී ලංකාවේ පෞඨත්වය තවත් වැඩි වනවාට සැකයක් නැහැ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන