1977න් පසු ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම, ආනයන වටිනාකම ඉක්මවා යයි
2020-07-20 15:10:35
Share with:

1977න් පසු ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම, ආනයන වටිනාකම ඉක්මවා යයි

නව කොරොනා වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කිරීමේහි ලබා ‍ගෙන ඇති සාර්ථකත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී විස්තර කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවා.

පසුගිය ජූනි මාසයේ දී, ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම ආනයන වටිනාකම ඉක්මවා ගිය අතර, 1977 වසරේ සිට ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසුව,එම ඉලක්කය සාක්ෂාත් කළ පළමු අවස්ථාව මෙය බව ජනාධිපතිවරයා එම රැස්වීමේදී සඳහන් කළා. පසුගිය ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 102ක් වූ අතර සමස්ත ආනයන වටිනාකම කෝටි 96.1ක් බව වාර්තා වුනා.

ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය සහ නිෂ්පාදන හා සේවා කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන ‍භාණ්ඩ ආනයනය සීමා කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

වසංගතයෙන් පසු රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා, අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය දේශීයකරණය කිරීම ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට කලින් පැවති අදාළ රැස්වීමකදී දේශීය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කළා.

විශේෂ ප්‍රතිපත්තිමය අනුබල යටතේ ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාරවල නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා.

නමුත්, ගෝලීය වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කෙටිකාලීන වර්ධන අපේක්ෂාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මේ දක්වා නිකුත්වී ඇති ආර්ථික දත්තවලට අනුව මේ වසරේ දෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට එමගින් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි පෙන්නුම් කෙරෙන බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පසුගියදා පැවසුවා.

කෙසේ වෙතත්, දේශීය ආර්ථිකය ආරක්ෂා කොට පුනර්ජීවනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති උත්සාහය අපට දැක ගත හැකියි. කොරොනා වසංගතය දැඩි ව නැවත නැගිටීම වලක්වන අතරම, ආර්ථිකය සංවර්ධනය කිරීමේහි සහ ජනතාවගේ සාමාන්‍ය ජීවිතය සහතික කිරීමේහි නිරත ව සිටින ශ්‍රී ලංකාව, රට සංවර්ධනය කිරීමට හැකිවන පරිදි වඩාත් හිතකර හා ඵලදායී ප්‍රතිපත්ති සම්පාදනය කොට ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන