අර්බුදයට මුහුණ දීමේ දී ශ්‍රී ලංකාව දක්වන නම්‍යශීලීත්වය හා ස්ථිරසාර බව පිළිබඳ පිළිබිඹුවක්...
2020-07-06 09:24:00
Share with:

චීන භාෂාවෙන් අර්බුදය යන වචනයට, අර්ථ දෙකක් තිබෙනවා. ඒ, අනතුරු සහ අවස්ථාවයි. අනතුරු තුළින් අවස්ථා හඳුනා ගත හැකි නම් ,එය රටකටත් ජාතියකටත් මාහැඟී නිපුණතාවක්.

ශ්‍රී ලංකාව එවැනි බුද්ධියක් හා නිපුණතාවක් ඇති රටක් බව නිසැකවම හඳුන්වා දෙන්න පුළුවන්. දුර්වල ආර්ථික පසුබිමක් ඇති සංවර්ධනය වෙමින් පවතින රටක් වුව ද ඉතා කෙටි කාලයකින් රටේ වසංගත තත්ත්වය පාලනයට ලක් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අනතුරුව ඉතා කඩිනමින් ජන ජීවිතය යහපත් කිරීමටත්, ආර්ථිකය පුනරුත්ථාපනය කිරීමටත් පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.

වසංගතය නිසා, අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර තිබෙනවා. ඒත්, ඒ තුළින් ක්ෂේත්‍ර රැසක දේශීය නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගියදා පෙන්වා දී තිබෙනවා. ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම නව කර්මාන්ත බිහිකිරීම සහ රටට නව තාක්ෂණය හඳුන්වා දීම වැනි බොහෝ දේ ව්‍යාපාරිකයින්ගෙන් අපේක්ෂා කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්යය සාධක බලකාය සහ ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළා. රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම සහ සපයන සෑම සේවාවකම ගුණාත්මක භාවය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට උත්සාහ කළ යුතු බව ද විශේෂයෙන් අවධාරණය කෙරුණා.

මීට මාසයකට පමණ පෙර, ශ්‍රී ලංකාව තවත් වැදගත් දේශීය නිෂ්පාදන උත්තේජන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාව අතර ගෙවතු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නොමිලේ එළවළු බීජ ලබාදීමේ වැඩපිළිවෙල යටතේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වෙසෙන එක්ලක්ෂ 25,000ක පමණ පිරිසකට බීජ ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙවැනි පියවර,අර්බුදයට මුහුණ දීමේදී දක්වන  නම්‍යශීලීත්වය හා ස්ථිරසාර බව පිළිබඳ කදිම පිළිබිඹුවක්.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන