ශ්‍රී ලංකාව කාබනික වගාව ප්‍රචලිත කිරීමේ උත්සාහයක
2020-05-28 16:39:54
Share with:

ශ්‍රී ලංකාව කාබනික වගාව ප්‍රචලිත කිරීමේ උත්සාහයක

නිරෝගීභාවයේ උතුම් අගය අන් කවර කලකට වඩා මේ කාලයේ අපට වඩාත් වැටහෙන්නේ කොරොනා වසංගතය අප ජීවත් වන මිහිතලය යටත් කරගෙන සිටින බැවින්. නිරෝගීභාවයට බල පාන විවිධ සාධක අතරින් ගුණවත් ආහාර පාන රටාව වැදගත් වෙනවා. ඒ සඳහා රජයක් සෘජු ලෙස මැදිහත් වී කටයුතු කිරීමේ අවශ්‍යතාව, ශ්‍රී ලංකා රජය ‍පෙන්වා දී තිබෙනවා.

ලෙඩ රෝගවලින් ඈත් වීම සඳහා කාබනික වගාව ප්‍රචලිත කිරීම ඵලදායී ක්‍රමවේදයක්. කාබනික වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් වස විසෙන් තොර කාබනික වගාවේ නිරතව සිටින ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. වස විසෙන් තොර ගොවිතැන සඳහා රජය ප්‍රමුඛතාවය ලබා දී තිබෙන බවත්, ඒ සඳහා හැකි සියලුම සහන ලබා දෙන බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කළා. රසායනික පොහොර සඳහා ක්‍රියාත්මක වන සහනාධාර වැඩපිළිවෙල කාබනික පොහොර සඳහා ද ලබා දීමටයි, කටයුතු කර තිබෙන්නේ. මේ වන විට රට පුරා කාබනික වී ගොවිතැනේ නිරත වන ගොවීන් ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගොවීන්ට මුල්‍යමය සහනාධාරයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටිනවා.

මේ වන විට ශ්‍රී ලංකා රජය සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට සමගාමීව වස විසෙන් තොර කාබනික පොහොර වගාවකට ගොවියා යොමු කරන ”දැයට හිතැති ගොවිතැන”වැඩසටහන ද ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මැදිහත් වී වගකීමෙන් යුතුව ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු කරවීමයි, එහි අරමුණ වී තිබෙන්නේ. පසුගිය දා එම වැඩසටහන සම්බන්ධයෙන් පැවති රැස්වීමකට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දැයට හිතැති ගොවිතැන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බළකාය නියෝජනය කරන නිළධාරින් පිරිසක් ද එක් වුණා. කාබනික පොහොරගොවීන්ට හදුන්වා දීමේදී කිසිදු බලපෑමකට සහ මුල්‍ය ගැටලුවකට යටත් නොවිය යුතු බවත්, නීත්‍යානුකූල නොවන පලිබෝධනාශක ගොවිතැනින් ඉවත් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බවත් එහිදී අවධාරණය කෙරුණා.

වසවිසෙන් තොර ආහාරපාන පරිභෝජනය කිරීම සෑම රටවැසියෙකුගේ ම අයිතියක්. එහෙත් අද වන විට ශ්‍රී ලංකා වෙළඳ පොළේ එම ආහාරවල මිල අධිකයි. කාබනික වගාව සාමාන්‍ය ගොවිතැනක් බවට පත් වුවහොත් වෙළඳ පොළේ එවන් ආහාරවල මිල ගණන් ද ඉබේම අඩු වෙනවා. වසවිසෙන් තොර වගාවකට ගොවීන් නැඹුරු කරවීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරන්නේ ඒ නිසයි. එහි සාර්ථක ප‍්‍රතිඵල යොදා ගත්තොත් එය මුළු රටටම ආදර්ශයක් වෙන ගොවිතැනක් බවට පත් වේවි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන