“සැසි වාර දෙක”තුළින් චීනය තවදුරටත් ආර්ථිකය දියුණු කරනු ඇතැයි ඊජිප්තු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් කියයි
2020-05-24 20:56:20
Share with:

“සැසි වාර දෙක”තුළින් චීනය තවදුරටත් ආර්ථිකය දියුණු කරනු ඇතැයි ඊජිප්තු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් කියයි

චීනය “සැසි වාර දෙක” පැවැත්වීමෙන් ආර්ථිකය තවදුරටත් දියුණු කර, ගෝලීය වසංගත මර්දනයට සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව, ඊජිප්තු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවා.

ඊජිප්තු විදේශ අමාත්‍යංශයේ ආසියානු කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ සහකාර, Hani Selim මහතා එහිදී සඳහන් කළේ, වසංගතය හමුවේ චීන ආර්ථිකය ස්ථීරව වර්ධනය වෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව, ලෝකය අවධානය යොමු කර තිබෙන බවයි. මේ වසරේ චීනයේ වාර්ෂික සැසි වාර දෙක ඉතා වැදගත් බව ඔහු පැවසුවා. “සැසි වාර දෙක” පැවැත්වෙන කාලය තුළ ප්‍රතිපත්ති සකස් කිරීම තුළින්, චීනය ආර්ථිකය වැඩි දියුණු කිරීම සාක්ෂාත් කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ,ඔහු සඳහන් කළා.

චීනයේ හිටපු ඊජිප්තු තානාපති Mohamed Noman Galal මහතා ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. සිය ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි අධ්‍යයන කාලය තුළ ඔහු චීන ඉතිහාසය හා සංස්කෘතිය අධ්‍යයනය කිරීමට කැප වුනා. 1998 වසරේ සිට 2001වසර දක්වා කාලය තුළ,චීනයේ ඊජිප්තු තානාපතිවරයා වශයෙන් ඔහු මුල සිට ම චීන සමාජයේ විපර්යාසය හා සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කළා.

Galal මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ, මේ වසරේ “සැසි වාර දෙකේදී” චීනය ආර්ථික කටයුතුවල මීළඟ අදියර සකස් කරනු ඇති අතර, ගෝලීය වසංගත බලපෑමට ප්‍රතිචාර දැක්වීමට චීනය ඵලදායී පියවර අඛණ්ඩව හඳුන්වා දෙනු ඇතැයි ද බලාපොරොත්තු වන බවයි.

ගෙවී ගිය වසර 70කට වැඩි කාලයක් තුළ චීනය ලබා ගත් ප්‍රතිඵල, විශේෂයෙන් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් චීන සමාජය ලැබූ විශාල විපර්යාසය ඔහු ඉහළින් අගය කළා.

ඊජිප්තුව “එකම චීනය” යන මූලධර්මය ස්ථීර ලෙස අනුගමනය කරමින්, චීනය මුල සිට ම පවත්වා ගෙන යන සාමකාමී සහජීවනය පිළිබඳ පංච ශීලයට අනුබල දෙනවා. ඊජිප්තු-චීන දෙරටේ සබඳතා දිනෙන් දිනම සමීප වී ඇති අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව වසරින් වසර ගැඹුරු වී තිබෙනවා. දෙපාර්ශ්වයේ පොදු උත්සාහයෙන් දෙරටේ සබඳතා අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව, Galal මහතා පැවසුවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන