පාසල ආරම්භ කිරීම සඳහා පූර්ණ සූදානමක් ඇති කිරීමට වග බලා ගත යුතුයි
2020-05-19 14:17:22
Share with:

පාසල ආරම්භ කිරීම සඳහා පූර්ණ සූදානමක් ඇති කිරීමට වග බලා ගත යුතුයි

නව කොරොනා වසංගතය තවමත් ලෝකයේ විවිධ රටවල ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ නිසා, පාසැල්වලට නව කොරොනා වසංගතයෙන් ඇති වන අවදානම පිළිබඳව අප දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාත, වසංගතය හමුවේ සිසුන් පාසල්වලට ආපසු පැමිණීම සඳහා වසංගත වැළැක්වීම් පියවර ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පළමුවෙන්ම ආරම්භ කරන සියළු පාසල් සඳහා උෂ්ණත්වමාන ලබාදීමට කටයුතු කරන්නැයි, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය බලධාරින්ට උපදෙස් දුන්නා.

රජයේ තීරණය අනුව උසස් පෙළ පන්ති සහිත පළාත් පාසල් 300ක් පමණ පළමුව ආරම්භ කිරීමට නියමිත අතර එම පාසල් 300ටම උෂ්ණත්වමාන ලබාදීමට නියමිතයි. ඊට අමතරව එම පාසල් පූර්ණ විෂබීජහරණයකට ලක්කිරීමට ද උපදෙස් දුන්නා.

එමෙන්ම පළාතේ සියළු පාසල් ආරම්භ කිරීමට පෙර, කොරොනා වසංගතයෙන් ආරක්ෂා වීම පිළිබඳව ළමුන් දැනුවත් කිරීම සඳහා උපදෙස් ඇතුලත් බැනරයක් සෑම පාසලකම ප්‍රදර්ශනය කරන ලෙසද, ඇය පළාත් අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නා.

ඊට අමතරව පාසල් ආරම්භ කිරීමට පෙර, එම පාසල් වලට ජල සැපයුම් ලබා දීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරුණා. සෑම පාසලකම දෑත් සේදීමේ ස්ථානයක් සැකසීම, ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා විශේෂ හැදුනුම්පතක් සැකසීම, සෑම සිසුවෙකුටම සෞඛ්‍ය තොරතුරු සටහන් කිරීමේ කාඩ්පතක් ලබා දීම, ඇතුළු කරුණු කෙරෙහිද මෙහිදී දැඩි අවධානය යොමු වුනා.

එසමඟම පසුගියදා චීන රාජ්‍ය මණ්ඩලයේ ඒකාබද්ධ ආරක්ෂක හා ඒකාබද්ධ පාලන යාන්ත්‍රණයේ මාධ්‍ය හමුවකදී, රෝග පාලනය හා වැළැක්වීම පිළිබඳ චීන මධ්‍යස්ථානයේ බෝවන රෝග දෙපාර්තමේන්තුව, පාසල්වල වසංගතය වැළැක්වීම හා පාලනය කිරීම සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා.

සියළුම වසංගත වැළැක්වීමේ හා පාලන සැලසුම්, හදිසි ප්‍රතිචාර සැලසුම් සහ සියලු වැළැක්වීමේ හා පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, සිසුන් කෙරෙහි දෛනික සෞඛ්‍ය අධීක්ෂණය, විශේෂයෙන් උෂ්ණත්ව අධීක්ෂණය සිදු කිරීම සහ පාසලේ ජන ඝනත්වය පාලනය කිරීම සඳහා සාපේක්ෂව සංවෘත කළමනාකරණ පියවර ක්‍රියාත්මක කිරීම, යනාදිය ඊට ඇතුළත් වෙනවා.

පාසල් නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට පෙර, තීරකයින් ප්‍රධාන සාධක සලකා බැලිය යුතු බවට, ලෝක සෞඛ්‍ය සංවිධානය ආයාචනා කර තිබෙනවා.

කෙසේ වුණත් නව කොරොනා වසංගතය පැතිරීම ඵලදායී ව පාලනය කිරීමත් සමඟ පාසල් නැවත ආරම්භ කිරීමට සූදානම් ව සිටියදී පාසල් ආරම්භ කිරීම ප්‍රවේශමෙන් කළ යුතුයි. පාසල ආරම්භ කිරීම සඳහා පූර්ණ සූදානමක් ඇති කර ගැනීමට වග බලා ගත යුතුයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන