ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර රැසක්
2020-05-11 16:41:55
Share with:

අපනයන වෙත වැඩි නැඹුරුවක් දක්වන දේශීය නිෂ්පාදන කර්මාන්ත සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතරම, දේශීය හා විදේශීය පාර්ශ්වකරුවන්ගෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් ව්‍යාපෘතිවල අපනයන ප්‍රමාණය වැඩි කිරීම දිරිගැන්වීම සඳහා ආයෝජන මණ්ඩලය විවිධ පියවර ගෙන තිබෙනවා.

මේ අතර ටයර් සහ ඇලුමිනියම් ආහාර බහාලුම් ඇතුළු විවිධ කාර්මික නිෂ්පාදන නිපදවීම සඳහා ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත ශාලා පිහිටුවීමට පෞද්ගලික සමාගම් ගණනාවක් සමඟ ආයෝජන මණ්ඩලය ගිවිසුම් කිහිපයක් අත්සන් කළ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා විවිධ සේවා සැපයීම ද සිදු කළා.

අපනයන වෙත වැඩි නැඹුරුවක් දක්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වෙළෙඳ පහසුකම් සපයන ලද අතර ඇසුරුම්කරණය, ලේබල් කිරීම, අපනයන මිලකරණය සහ පිරිවැය ගණනය පිළිබඳ කලාපීය මට්ටමින් අධ්‍යාපන වැඩසටහන් ගණනාවක් ද පැවැත්වුණා.

දේශීය විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්තය ගෝලීය සැපයුම් දාම හා සම්බන්ධ කිරීමේ අරමුණින් ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරන පිළිබඳව බහුජාතික සමාගම් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය එක්ව සිදුකරනු ලබන බහුජාතික සමාගම් මෙරටට ආකර්ෂනය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2019 වසරේ දී අනුමැතිය ලබා දුන්නා. 2022 වසර වන විට බහුජාතික ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන සමාගම් 3-5 දක්වා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කර ගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි. දේශීය විදුලි උපකරණ කර්මාන්තයට සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගන්නා අතරම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම ද මෙම වැඩසටහනෙන් අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ වැදගත් කඳවුරක් වශයෙන් ඉතා සුවිශේෂ භූගෝලීය පිහිටීමක් හිමි වෙනවා. කලාපීය සංවර්ධන එන්ජිමක් ලෙසට පොළඹවීමේ ධාරිතාව එමගින් බිහි කෙරෙනවා. ප්‍රවාහන පහසුකම්, තොරතුරු හුවමාරු පහසුකම් ද වාසි සහගතයි. දෙස් විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජයේ ප්‍රතිපත්ති ඉතා වැදගත් සාධකයක්. ඒ සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා. එහෙත් විදේශ ආයෝජන කර ගැනීමට දියුණු සංවර්ධන පරිසරයක් ද අවශ්‍යයි. යටිතල පහසුකම්, වෘත්තීය දැනුම් සහිත දේශීය සේවක සේවිකාවන් ද ඉතා වැදගත්. ඒ සඳහා දීර්ඝකාලීන මෙන්ම ස්ථිර සැළැස්මක් අත්‍යවශ්‍ය වෙනවා.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන