ශ්‍රී ලංකා ආර්ථිකය හැකි ඉක්මනින් පුනර්ජීවනය වනු ඇතැයි අපේක්ෂා
2020-04-21 13:01:51
Share with:

ශ්‍රී ලංකා ආර්ථිකය හැකි ඉක්මනින් පුනර්ජීවනය වනු ඇතැයි අපේක්ෂා

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා පවසනවා.

රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමඟ පසුගිය 15වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නීතිය ලිහිල් කිරීම කෙරෙහි සාකච්ඡාවට ලක් කර ඇති අතර, ජනතාව ඒකරාශිවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

නමුත් මේදිනවල කොළඹ නගරයේ නව කොරොනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව දැඩිව වැඩිවීම හේතුවෙන් රජයට පාසල්, සේවා හා නිෂ්පාදන නැවත ආරම්භ කිරීම පිළිබඳව යළි සලකා බැලීමට සිදුව තිබෙනවා.

කෘෂි, ධීවර සහ ව්‍යාපාර ඇතුළු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ දී ඊට අවශ්‍ය සහාය අමාත්‍යාංශ වෙතින් ලබාදීමට ක්‍රියාකරන ලෙස ද ජනාධිපතිවරයා ලේකම්වරුන්ට දැනුම් දී තියෙනවා.

මූල්‍ය හිඟය, රුපියලේ වටිනාකම පහත බැසීම සහ නොකඩවාම වැඩි වෙන ණය ශ්‍රී ලංකාවට බරක් වෙනවා.

නව කොරොනා වසංගතයේ බලපෑම සහ ලෝක ආර්ථික අවපාතයේ තර්ජනය හේතුවෙන් මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපේක්ෂාවන් සුබවාදී නොවන බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නා.

වසංගතයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා කලාපයේ මේ වසරේ ආර්ථික වර්ධනය ගෙවී ගිය වසර 40ක් තුළ එහි අවම මට්ටමින් පෙනුම් කිරීමට ඉඩ තිබෙන අතර ආර්ථිකය 1.8% සිට 2.8% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ලෝක බැංකුව පසුගියදා වාර්තා කළා.

දේශීය ආර්ථික පසුබෑමටත් නව කොරොනා වසංගතය මැඩපැවැත්වීමටත් මුහුණ දෙන ශ්‍රී ලංකාවට සේවා හා නිෂ්පාදන පුනරුත්ථාපනය කිරීම අභියෝගයක් වෙනවා.

සේවක-සේවිකාවන් පෞද්ගලික ආරක්ෂාව තහවුරු කොට, පොදු ස්ථානවල ආරක්ෂාකාරී වීමට ක්‍රියාමාර්ග ගෙන විද්‍යාත්මක හා ඵලදායී වැළැක්වීම් හා පාලන පියවර ගැනීමෙන් වසංගත නිවාරණය මනාව පාලනය කරමින් ජීවිතය, සේවා හා නිෂ්පාදන යථා තත්වයකට පත් වීමට සිදුව තිබෙනවා.

ජනතාව වසංගත වැළැක්වීම් හා පාලනය සඳහා අදාළ ක්‍රියාමාර්ග මනා ලෙස අනුගමනය කරමින් සේවා හා නිෂ්පාදන විධිමත්ව පිළිවෙළින් නැවත ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකය හැකි ඉක්මනින් පුනර්ජීවනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන