දේශපාලන, ආගමික හා සංස්කෘතික වෙනස්කම් නොතකා සියලු රටවල ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍යයි
2020-04-15 11:09:01
Share with:

අප්‍රේල් 08 වන දින, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලෝ චොං මහතා විසින් විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන මහතා වෙත විවෘත ලිපියක් යොමු කෙරුණා. එම සමාගම විසින් කරුණු විකෘති කරමින්, වෛරී ප්‍රකාශ ඇවිළීමට තුඩුදෙන්නා වූ වගකීම් විරහිත ලිපි පළකිරීමට එරෙහිව තානාපති කාර්යාලයේ දැඩි ස්ථාවරය මෙම ලිපිය මගින් ඉදිරිපත් කර තිබෙනවා.

ඩේලි මිරර් මාර්තු 27, අප්‍රේල් 4 සහ සන්ඩේ ටයිම්ස් මාර්තු 22 වැනි දින පුවත්පත්හි දක්නට ලැබුණු වගකීම් විරහිත ලිපි තුනක් සම්බන්ධයෙන් විජේවර්ධන මහතා‍ගේ අවධානය සඳහා එම විවෘත ලිපිය යොමු කෙරුණා.

සාවද්‍ය තොරතුරු මගින් අන්ධභාවයට පත්වී හෝ විවිධ න්‍යාය පත්‍රයන් මගින් මෙහෙයවනු ලැබුවෙකු පදනම් විරහිත ප්‍රකාශ කිරීම පුදුමයක් නෙමෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් හා ගෞරවනීය මාධ්‍ය ආයතනයක් වන විජය පුවත්පත් සමාගමේ වඩාත් ජනප්‍රිය පුවත්පත් දෙකක මෙවැනි තේරුම් රහිත හා වෛරී ප්‍රකාශන සහිත ලිපි පළවීම පිළිගන්නේ කොහොමද ?

මූලික කරුණු, දැනුම හා දයානුකම්පාව රහිත වීම මෙන්ම අවිචාරකත්වය, ජාතිවාදය හා වෛරී ප්‍රකාශ වලින් පිරී ඇති මෙම ලිපි, “වඩාත් ස්වාධීන හා සමාජීය වගකීමකින් යුත්," බව සඳහන් කරන විජය පුවත්පතේ දැක්මට හා 'තොරතුරු ඇති සැටියෙන් වාර්තා කිරීම' යන මෙහෙයුම් ප්‍රකාශයන්ට පටහැනිය. එපමණක් නොව එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය බුද්ධියට හා මනුෂ්‍යත්වයට එරෙහි වීමකි. විශේෂයෙන්ම වර්තමාන තත්ත්වය යටතේ, මානව වර්ගයාගේ පොදු සතුරෙකු වන COVID-19 ට එරෙහිව ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටම එක්ව සටන් කරන අවධියක, මේ ආකාරයෙන් වෙනස්කම් කිරීම හා අපකීර්තියට පත් කිරීම කිසිසේත්ම සුදුසු හා ප්‍රයෝජනවත් ක්‍රියාවන් නෙමෙයි.

නව කොරොනා වෛරසයේ මූලාරම්භය යනු, වෘත්තීය හා විද්‍යාත්මක තක්සේරු අවශ්‍ය වන විද්‍යාත්මක කරුණක්. මෙම වෛරසය මුලින්ම වාර්තා වූයේ වුහාන් නගරයෙන් වුණාට, එම නගරය එහි ප්‍රභවය බවට මේ දක්වා කිසිදු සාක්ෂියක් හමුවී නැහැ. ඇමරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් (CDC) ඇස්තමේන්තු කර තිබුණේ 2019 සැප්තැම්බර් මාසයේ සිට එරට ආරම්භ වූ ඍතුමය උණ රෝගයෙන් මේ දක්වා 20,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි. එහි අධ්‍යක්ෂ - වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් මහතා විසින් පිළිගෙන තිබුණේ ඇතැම් රෝගීන් ඇත්ත වශයෙන්ම මියගොස් තිබුණේ COVID-19 රෝගයෙන් බවයි. එවැනි රෝගීන් මුල් අවස්ථාවේ ඉතාලියෙන්ද හමුවී තිබුණා. චීනය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් විසින් සිදුකරන ලද පර්යේෂණ වලින් මෙහි ප්‍රභවය පිළිබඳව තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නැහැ. වෘත්තීය වෛද්‍ය දැනුමකින් තොරව “චීනය වෛරසයට උපත ලබා දුන්”බවට පවසන්නේ කොහොමද?

තවත් වැදගත්ම කාරණයක් නම්, වෛරසයක් කිසිඳු රටකට, කලාපයකට හෝ ජනවාර්ගික කණ්ඩායමකට සම්බන්ධ නොකළ යුතු බවත්, එවැනි අපකීර්තියන් ප්‍රතික්ෂේප කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව පැහැදිලි එකඟතාවයකට හා ක්‍රියාපටිපාටියකට පැමිණ තිබීමයි. COVID-19 ට එරෙහි සටනේදී, නිරතුරුවම විද්‍යාවට ගරු කර තාර්කිකව ප්‍රතිචාර දක්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද, නිවැරදි ලෙස රෝගය නම් කිරීම පිළිබඳව සිය ජනතාව දැනුවත් කරන ලෙස රජයන්ගෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා. ඕනෑම අයුරකින් වෙනස්කම් සිදුකිරීම් හෙළා දැකිය යුතු බවත්, ඇතැම් මාධ්‍ය විසින් වෛරසය නම් කිරීමේදී “චීනය”සහ “වුහාන්”භාවිත කිරීම නිවැරදි කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ද ඉල්ලා සිටියේ “COVID-19 වසංගතයට එරෙහිව සටන් කරන අතරතුර දී දිගින් දිගටම වාර්ගික වෙනස්කම් හා අවිචාරකත්වය දක්නට ලැබීම ලැජ්ජාවට කරුණක්”බවයි. “අප සැමවිටම ජාතිවාදයට හා අවිචාරකත්වයට එරෙහිව සටන් කළ යුතු”බව ද ඔහු පැවසුවා.

වසංගතය පිළිබඳව මුලින්ම වාර්තා වූ අවස්ථාවේදී, එම වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වඩාත් විවෘත, විනිවිදභාවයෙන් යුත් හා වගකිවයුතු ආකාරයකින් කාලෝචිත ලෙස චීන රජය විසින් වඩාත් පුළුල්, දැඩි හා ගැඹුරු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබුණා. චීනය විසින් මේ සම්බන්ධයෙන් ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක, හා විනිවිදභාවයෙන් යුත් කාල රාමුවක් ද පසුගියදා නිකුත් කෙරුණා. ජනවාරි 03දා සිට චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ අදාළ රටවලට මෙම වසංගතය පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කර තිබෙනවා. වසංගත රෝග ඉතිහාසයේ වේගයෙන්ම පැතිරගිය මෙම නව කොරොනා වෛරසයේ ජානමය අනුක්‍රමයේ තොරතුරු පිළිබඳව ජනවාරි 12 දා වන විටත් චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර තිබුණා. ජනවාරි 23 සිට මිලියන 11 ක ජනගහනයක් සිටින වුහාන් නගරය මුළුමනින්ම වසාදැමීමේ තීරණාත්මක තීන්දුවට චීනය එළඹුණු අතර, මෙමගින් ලක්ෂ හතකට පමණ වෛරසය ආසාදනය වීම වළක්වා ගන්නට හැකියාව තිබූ බව ඇමරිකානු විශේෂඥයන් මත පළ කර තිබුණා. දේශසීමා හරහා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා චීනයෙන් පිටතට යන සියලුම සංචාරක කණ්ඩායම් තහනම් කළා. චීනය විසින් සිදුකළ විශාල පරිත්‍යාගයන් හේතුවෙන් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලෝකයේ අනෙක් රටවලට කවුළු කාල පරිච්ඡේදයක් ලබා දීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රශංසා කර තිබුණා.

COVID-19 යනු තවදුරටත් එක් නගරයක හෝ එක් රටක සටනක් නෙමෙයි. දැනටමත් එය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව සියලු මානව වර්ගයා මුහුණ දෙමින් සිටින විශාලතම අභියෝගය බවට පත්ව තිබෙනවා. ඒ සඳහා දේශපාලන, ආගමික හා සංස්කෘතික වෙනස්කම් නොතකා සියලු රටවල ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍යයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන