චීන ශ්‍රී ලංකා මිතුදම සංකේතවත් වූ අවස්ථාවක්
2020-04-02 19:20:27
Share with:

නව කොරොනා වසංගතයට මුහුණ දීමේදී සංවර්ධිත රටවල හෝ වේවා සංවර්ධනය වෙමින් පවතින රටවල හෝ වේවා වෙනස් මට්ටම්වල වෛද්‍ය භාණ්ඩ හිඟතාවක් මතු වී තිබෙනවා. දැඩි ලෙස පැතිර යමින් පවතින වෛරසය හා සටන් කිරීමේදී, වෛද්‍ය භාණ්ඩ ස්වයං නිෂ්පාදනය හෝ ආනයනය කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා දීම ඇතුළු සමස්ත ක්‍රියාදාමය සිදු කළ යුත්තේ ක්‍රමවත් ලෙස හා ඉහල කාර්යක්ෂමතාවෙන් යුක්තවයි. මේ සඳහා රජයේ ක්‍රියාසැළැස්ම හැරුණු විට, ජනතාවගේ සක්‍රීය සහයෝගතාව ද වැදගත්.

මාර්තු මාසයේ අග භාගයේ වාර්තා වූ පුවතකින් චීන ජනතාවගේ සිත් සංවේදී වුණා. ශ්‍රීලංකාවේ සිටින චීන ජාතිකයන්ට මුඛ ආවරණ බෙදා දීමේදී ශ්‍රීලංකා පොලිසිය උදව් උපකාර දැක්වූවා.

ශ්‍රීලංකාවේ සිටින, මුඛ ආවරණ සඳහා අවශ්‍යතා ඇති චීන ජාතිකයන් වෙත නොමිලේ මුඛ ආවරණ ලබා දීමට සිදුව ඇතැයි ශ්‍රීලංකාවේ චීන තානාපති කාර්යාලය පසුගිය 24 වැනිදා ප්‍රකාශ කළා. එහෙත් ඒ දිනවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය නිසා එම මුඛ ආවරණ ප්‍රවාහනය කිරීම හා බෙදා දීම ගැටළුවක් වුණා. එම අවස්ථාවේ චීන තානාපති කාර්යාලය හදිසියේම ශ්‍රීලංකා පොලිසිය වෙත හදිසි ඉල්ලීමක් ඉදිරිපත් කළා. ‘ප්‍රශ්නයක් නෑ. චීන මිත්‍රයන් අසීරුතාවන්‍ට ලක් වෙන්න අපි දෙන්නේ නෑ.’ එයයි ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිචාරය වු‍ණේ. එම මුඛ ආවරණ ප්‍රවාහනය හා බෙදා දීම සඳහා විවිධ ප්‍රදේශවල පොලිස් කණ්ඩායම් දායක වුණා. කොළඹ, ගාල්ල, දකුණු අධිවේගී මාර්ග යන ප්‍රදේශවල පොලිසිය 24 වැනිදා රාත්‍රිය පුරාම වෙහෙස වෙමින් එම මුඛ ආවරණ චීන ජාතිකයන්ගේ අතට පත් කළා. මෙය ශ්‍රී ලංකා චීන මිතුදමට එකතු කළ තවත් සුන්දර කරුණක්. චීන ජාතිකයන් බොහෝ දෙනෙක් මේ පිළිබඳව සිය සමාජ වෙබ් අඩවිය මගින් ශ්‍රීලංකාවට ස්තුති පළ කළා.

බිඳක් දීමෙන් පසු ආපසු ලබා දිය යුත්තේ උල්පතක් ය යන පැරණි චීන කියමනක් තිබෙනවා. චීන ජනතාව කිසි විටකවත් තමාට උදව් උපකාර දුන් ශ්‍රීලංකා ජනතාවට ආපසු කෘතගුණ සැලකීම අමතක කළේ නෑ. ශ්‍රීලංකාවේ වෛද්‍ය භාණ්ඩ හිඟයන් පැවතීම නිසා, ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් චීන ජාතිකයන් තම ලාංකීය අසල්වැසියන්ට මුඛ ආවරණ බෙදා දුන්නා. පාදුක්කේ කුඩා ඉදිකිරීම් ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක හිමිකරු වන හුවා චෙන්ලියන්ග් මහතා, ඇඳිරි නීතිය යටතේ සිටින පවුල් 65 කට වැඩි පිරිසකට මුඛ ආවරණ සහ ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ඊට නිදසුනක්. "ශ්‍රී ලංකාව මගේ දෙවන උපන් ගමයි. මම මේ අයට ආදරෙයි." කියා චෙන්ලියන්ග් මහතා පැවසුවා.

ජනතාව එකිනෙකා අතර පමණක් නොව, චීන-ශ්‍රී ලංකා රාජ්‍ය මට්ටමේ මිතුදම ද මෙවර වසංගතය සමග සටනින් තහවුරු වී තිබීම විශේෂත්වයයි. චීනය වසංගතයට ගොදුරු වූ මුල් අවධියේ ශ්‍රී ලංකා රජයෙන් සහනාධාර ලැබී තිබීම වගේම, දැනට ශ්‍රී ලංකාව ඊට සමාන තත්ත්වයට මුහුණ දී ඇති විට චීන රජයත් ශ්‍රී ලංකාවට උදව් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා පසුගියදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී කොරොනා වෛරස් වසංගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් චීන රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ප්‍රථම හදිසි මානව සහනාධාර තොගයේ භාණ්ඩ ලැයිස්තුව භාර දුන්නා. මේ දිනවල චීන රජයේ හදිසි මානව සහනාධාර හැරුණු විට, චීනයේ ඒ ඒ ප්‍රාදේශීය රජයන්, ව්‍යවසායකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් ද ශ්‍රී ලංකාවට විවිධ භාණ්ඩ පරිත්‍යාග කර තිබෙනවා.

දැවැන්ත වසංගතයට මුහුණ දීමේදී, ශ්‍රී ලංකාව හා චීනය යන දෙරටේ මිත්‍රත්ව ඉතිහාසයට තවත් රන් පිටු කිහිපයක් එකතු වී තිබෙනවා.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන