කොරොනා වසංගත පාලනයට සාර්ක් රටවල් එකමුතුවෙන්
2020-04-02 17:24:57
Share with:

කොරොනා වසංගත පාලනයට සාර්ක් රටවල් එකමුතුවෙන්


කොරොනා වෛරසය ලොව පුරා අසාමාන්‍ය වේගයකින් පැතිර ගොස් තිබෙන්නේ කාගේත් සිත තුළ කම්පනය ඇති කරමින්. දේශ සීමා නැති කොරොනා වෛරසය ලෝකවාසීන්ට ගෙන දී ඇත්තේ අතිශයින් අර්බුදකාරී තත්වයක්. මෙවන් අර්බුදයකට මුහුණ දීම සඳහා ජාතික වශයෙන් හා කලාපීය වශයෙන් මෙන් ම ගෝලීය වශයෙන් ද ක්‍රියා කිරීම ඉතා වැදගත්. එහි අර්ථය වන්නේ ගැටළු ජය ගැනීම සඳහා සාමූහික ව ක්‍රියා කිරීමයි.

පසුගිය අසුව දශකයේ සිට දකුණු ආසියාවේ රටවල් සාමූහිකව ක්‍රියා කිරීම වෙනුවෙන් නිල වශයෙන් එකට බැඳී සිටිනවා. සාර්ක් සහයෝගිතා සංවිධානය එහි ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකියි. කොරොනා වසංගත අර්බුදයට මුහුණ දීම සඳහා කලාපීය උපාය මාර්ග සෙවීමට සාර්ක් රටවල් කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුගිය මාසයේ සාර්ක් නායකයන්ගේ සාකච්ඡාවක් වීඩියෝ මාර්ගයෙන් පැවැත්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සාකච්ඡාව ආරම්භ කරමින් කියා සිටියේ සූදානම් වන්න බිය නොවෙන්න යන්න ආදර්ශ පාඨයක් ලෙස ගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි. බිය හා සැකය නිසා ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩ සියල්ල එක් රැයකින් අවසන් වූ බවත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවත් පසුගිය දවස්වල වාර්තා වුණා. රෝගය නොසලකා හැරීම සුදුසු දෙයක් නොවෙයි. එලෙස ම අනවශ්‍ය ලෙස තැති ගැනීම ද සුදුසු දෙයක් නෙමෙයි. දකුණු ආසියා කලාපීය රටවල් අටේ නායකයන් සාමූහික තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක වුවහොත් ඉහත සඳහන් ගැටළු ජය ගත හැකියි.

කොරොනා අර්බුදය පසුපසින් තවත් බරපතල අර්බුදයක් පවතිනවා. ඒ, ආර්ථිකයේ කඩා වැටීමයි. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ බිඳ වැටෙන ජාතික ආර්ථිකය යළි නගාසිටුවීම සඳහා කලාපීය සහයෝගය ඉතා වැදගත් බවයි.කොරොනා වසංගතය මැඩපැවැත්වීම වෙනුවෙන් කලාපීය රටවල් සාමූහික ව ක්‍රියා කිරීමත් ඉන්දියාව නායකත්වය ගෙන කටයුතු කිරීමත් සාධනීය ලක්ෂණයක්.මේ සම්බන්ධයෙන් අරමුදලක් පිහිටුවීමට තීරණය කර ඇති අතර ඉන්දියාව එම අරමුදල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබා දී තිබෙනවා.සෙසු සාර්ක් සාමාජික රටවල දායකත්වයත් ඊට ලැබී තිබෙනවා. එම අරමුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් සපයා දීමටයි ශ්‍රී ලංකාව කටයුතු කර ඇත්තේ. සියලු සාර්ක් සාමාජික රටවලින් වැඩිම ඒකපුද්ගල මුදල් පරිත්‍යගය වන ඇමරිකානු සත 50 බැගින් සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් සිදු කර තිබෙන්නේ මාලදිවයිනයි.ඒ ඇමරිකානු සත 50ක්.මේ අනුව විශේෂඥ දැනුම, තාක්ෂණය හා අත්දැකීම් හුවමාරු කර ගනිමින් සාර්ක් රටවල් කොරොනා අර්බුදයට සාමූහිකව මුහුණ දීමේ අවස්ථාව උදා වුණා. තනිව ජය ගත නොහැකි බොහෝ අර්බුද සාමූහිකත්වය ඔස්සේ ජය ගත හැකි බවයි එමගින් යළි තහවුරු වී තිබෙන්නේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන