විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ කෝමාරිකා වගා ව්‍යාපෘතිය
2020-03-02 16:24:49
Share with:

විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ කෝමාරිකා වගා ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම ජාතික වනෝද්‍යාන අතරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. සරු වන ජීවි සම්පත්වලින් පිරි විල්පත්තුව ජාතික වනෝද්‍යානය බොහෝ කලක සිට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වී තිබෙනවා.

මෑතදී විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ රක්ෂිත සීමාවේ අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව අනාවරණය වී තිබෙනවා. පෞද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙනවා. එහෙත් මෙම මහා පරිමාණ කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා අදාළ පෞද්ගලික සමාගම පරිසර ඇගයීම් වාර්තාව සකස් කර නැහැ. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය, යාය 18 ප්‍රදේශය මුල් කර ගනිමින්, දිවයින පුරාම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබෙන බව දැන ගන්නට ලැබුණා.

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සීමාවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබෙන එම ඉඩම්, බලපත්‍ර සහිත ඉඩම් බවත්, පසුගිය කාලය තුළ එම ඉඩම්වල ගොවීන් හේන් ගොවිතැන් කළ බවත්, රාජාංගණය ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා. අදාළ සමාගමේ උදව් ඇතිව ගොවීන් කෝමාරිකා වගා කිරීමට තීරණය කර තිබෙන බව දැනගෙන එම ලේකම්වරයා අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කළා. අදාළ සමාගම ගොවීන්ට දන්වා ඇති පරිදි , කෝමාරිකා වගා ව්‍යාපෘතියත් සමග ජල ටැංකි, මාර්ග පද්ධති සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් සකස් කර දීමට නියමිතයි. ඒ අනුව යාය 18 ප්‍රදේශයේ අක්කර 100 කට වැඩි භූමි ප්‍රදේශයක කෝමාරිකා වගාව සිදු කිරීමට භූමිය සකස් කෙරෙන බව රාජාංගණය ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටිනවා .

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතැම් පරිසරවේදීන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. ව්‍යාපෘතිය හේතුවෙන් විල්පත්තුව රක්ෂිත සීමාවේ ඉඩම් ක්‍රමයෙන් නැති වී වනෝවිද්‍යාන භූමියේ පාරිසරික තත්වයට අහිතකර බලපෑම් සිදු වනු ඇතැයි, ඔවුන් පෙන්වා දෙනවා. එම ව්‍යාපෘතිය සිදු කිරීමට නම් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතු බව, ඔවුන් අවධාරණය කළා.

සංවර්ධනය, වර්තමානයේ ප්‍රධාන තේමාවක්. කුමන රටක හෝ කුමන ප්‍රදේශයක, සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමේදී ආර්ථික ප්‍රතිලාභ සහ පරිසර සංරක්ෂණය අතර පවතින පරස්පරතා නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. මෙහිදී කෝමාරිකා වගා ව්‍යාපෘතියෙන් අදාළ සමාගමට හා ගොවීන්ට මූල්‍යමය යහපත ගෙන දුන්නත්, ඉන් විල්පත්තුව ජාතික වනෝද්‍යාන භූමියට සිදු වන පාරිසරික හානි නොසලකා ‍නොහැරිය යුතුයි. මෙම ගැටළුව විසඳා ගැනීමේ දී ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය ගැන පමණක් නොව මතු පරපුරේ සුබසිද්ධිය පිළිබඳව ද හොඳින් විමසා බැලිය යුතු බව, කිව යුතුයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන