ගෝලීය අනුබල සමගින් චීනය යළි නැගී සිටින බවට ස්ථිර විශ්වාසයක්
2020-02-10 14:54:31
Share with:

වසර 2020 වසන්ත උත්සවය හෙවත් චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවය චීන ජනතාව‍ ගත කළේ සුවිශේෂී ආකාරයටයි. පවුලේ එකමුතුව, ගම්බිම් බලා යාම, ඥාති මිත්‍රයන් සමග සංග්‍රහ හා සංචාරය යනාදිය සඳහා වන නිවාඩු සැලසුම්, ඔවුන් අහෝසි කර ගත්තේ කොරොනා වෛරස වසංගතය සමග සටනට එක් වීම පිළිබඳ රටේ මුලපිරුමට ප්‍රතිචාරයක් දක්වමින්. ‍

කොරොනා වෛරස වසංගතය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලට බලපා තිබෙනවා. වසංගතයේ පැතිරයාම වැළැක්වීමට චීන රජයේ සිට මහ ජනතාව දක්වා ම ක්‍රියාත්මක ක‍ර ඇත්තේ බලවත් වැඩපිළිවෙළක්. ශ්‍රීලංකාව ඇතුළු රටවල් සිය ජනතාව චීනයෙන් ආපසු කැඳවීමේ කටයුතු සඳහා චීනය උපරිම සම්බන්ධීකරණයක් හා සහයෝගීතාවයක් දක්වා තිබෙනවා.

එමෙන්ම චීනයට අනුබල දක්වන ප්‍රබල හඬක් ගෝලීය ප්‍රජාව තුළින් මතුවී තිබෙනවා. ඒ අතරින් චීනය සමග සාම්ප්‍රදායික මිතුදමක් සහිත ශ්‍රී ලංකාව විශේෂයෙන්ම පෙන්වා දිය යුතුය.

කොරොනා වෛරස වසංගතයේ අභියෝගයට මුහුණ පා සිටින චීනයට අනුබලයක් වශයෙන්, ශ්‍රී ලංකාව තේ තොග කිහිපයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. මනා තාප චිකිත්සක ඵළදායිතාවක් සහිත ශ්‍රී ලංකා තේ මගින්, කොරොනා වෛරසයෙන් පීඩා විඳිමින් සිටින චීන ජනතාවට සැනසීමක් ලබාදිය හැකි වෙතැයි විශ්වාස කරන බව, ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවේදී ප්‍රකාශ කළේ, හැඟුම්බරවයි.

එසේම පසුගිය පස් වැනිදා, චීන ජනතාවට කොරොනා වෛරස් වසංගතය පැරදවීම සඳහා ආගමික ආශීර්වාදය ලබා දීමේ ‍බෞද්ධාගමික වැඩසටහනක්, කොළඹදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවැනි අසීරු අවස්ථාවක ශ්‍රී ලංකා ජනතාව, චීන ජනතාව සමග දැඩිව බැඳී සිටින අතර, දුෂ්කර කාලය පසුකිරීමට චීනය දිරිගන්වන බව ද හෙතෙම පැවසුවා. අනතුරුව, ශ්‍රී ලංකා කතානායක කරු ජයසූරිය මහතා චීන තානාපතිවරයා හමු වී, චීන ජනතාව වෙත ස්ථිර අනුබලය ලබා දෙන බව, යළි අවධාරණය කළා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ, චීන ජනතාවගේ එක්සත් සහයෝගයෙන් යුක්තව, ශ්‍රී ලංකාව වැනි අසීරුතා හමුවේ උදව් උපකාර දක්වන මිත්‍රශීලී රටවල අනුබලය සහිතව, කොරොනා වෛරස වසංගත පාලනය සඳහා වන සටනින් චීනය නිසැකවම ජය ගනු ඇත. එහෙත්, අනිත් අතින් බැලු විට, සාමාන්‍ය ලෝ වැසියෙක් වශයෙන්, මෙම වසංගතය දැකිය යුත්තේ කවර ආකල්පයකින් ද? යන්නත්, ඊට මුහුණ දෙන්නේ කෙසේ ද? යන්නත්, වසංගතය ගෝලීය වශයෙන් පාලනය කිරීමේ දී බෙහෙවින් වැදගත්. කෙසේ වුවද චීන රජය හා නිල මාධ්‍ය ආයතන, වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු පළ කිරීමේදී ඉහළ විනිවිදභාවයක් හා කාර්යක්ෂමතාවක් දක්වා තිබෙනවා. වසංගතයක් සිදු වෙද්දී සංත්‍රාසයෙන් බැහැරව, නිල නොවන ආරංචි මාර්ග හා ඕපදූප විශ්වාස නොකර පෞද්ගලික ආරක්ෂක විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කර ගැනීම, ඉතිහාසය අපිට කියා දුන් පාඩමක්.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන