සියලු රාජ්‍ය ආයතන එකම ජාලයකට එක් කිරීමෙන් යහපත් රාජ්‍ය සේවාවක් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ රජය
2020-02-04 14:21:12
Share with:

සියලු රාජ්‍ය ආයතන එකම ජාලයකට එක් කිරීමෙන් යහපත් රාජ්‍ය සේවාවක් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ රජය

යහපත් රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම ඕනෑම රජයක අභිලාෂයයි. එමගින් කාර්යක්ෂම හා දූෂණ රහිත රාජ්‍ය සේවාවක්‍ ගොඩනැගීමට අපේක්ෂා කෙරෙනවා.මේ පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යොමු කර ඇත්තේ දැඩි අවධානයක්. රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටු දැකීම අරමුණු කර ගනිමින් සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම පිළිබඳව හෙතෙම අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඊ-පාලනය හෙවත් විද්‍යුත් පාලනය යන සංකල්පය යටතේ සියලු රාජ්‍ය ආයතන සතු දත්ත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ පූර්ණ මැදිහත් වීමෙන් එක්රැස් කරනු ලබනවා. ජනතාවට වඩාත් සමීප රාජ්‍ය ආයතනවලට ප්‍රමුඛතාව දෙමින් සියලු ආයතන ජාලගත කිරීම සිදු කෙරෙනවා. නව ක්‍රමවේදය යටතේ තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන් හැඳුනුම්පත්, රියැදුරු හා ගුවන් බලපත්‍ර, උප්පැන්න, විවාහ හා මරණ සහතික ලියාපදිංචි කිරීම සහ රජයේ ඉඩම් ඔප්පු ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවා කඩිනමින් ඉටු කර ගැනීමට හැකි වනවා. දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්ෂමතාව හා දූෂණය වළක්වා ගත හැකි වනවා. බදු අය කිරීමේ සිට විශ්‍රාම වැටුප් දක්වා වන ක්ෂේත්‍ර රැසක ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයකරණයෙන් ඉටු කර ගැනීමට අවකාශ සැලසෙනවා.

දත්ත එක්රැස් ව තිබීමෙන් ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන තීන්දු තීරණ ගැනී‍මේදී නිවැරදි වි‍ශ්ලේෂණයක් කළ හැකි බව පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී පෙන්වා දුන්නා. නව රජය ස්ථාපිත කිරීමේදී , කඩිනමින් පණ ගැන්විය යුතු ආයතන රැසකට ප්‍රධානීන් ලෙස පත් කිරීම සදහා, අදාළ ක්ෂේත්‍රවල දක්ෂතා ඇති අය පිළිබඳ තොරතුරු ගොනුවක් නොතිබීම බාධාවක් වී තිබෙනවා. රාජ්‍ය සේවයේ සිටින දක්ෂයන් කඩිනමින් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතාව මතු වී තිබෙන්නේ ඒ නිසයි. නව විද්‍යුත් පාලන ක්‍රමය මගින්, අදාළ පිරිස් හැකි ඉක්මනින් හඳුනාගෙන සංචිතය සඳහා නිර්දේශ යොමු කිරීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරී තිබෙනවා.

මෙලෙස සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම තුළින්, ගෝඨාභය රාජපක්ෂ රජයට වඩාත් යහපත් රාජ්‍ය සේවයක් සහ දක්ෂ රාජ්‍ය සේවකයින් පිරිසක් නිර්මාණය කළ හැකි බවට විශ්වාස කෙරෙනවා.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන