චීන ශ්‍රී ලංකා ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කර ගැනීමට තවත් පාලමක්
2019-10-31 10:52:02
Share with:

චීන ශ්‍රී ලංකා ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කර ගැනීමට තවත් පාලමක්

චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පසුගිය 27 වැනිදා සහයෝගතා ගිවිසුමකට පැමිණියා. ශ්‍රී ලංකාවේ කොළඹදී “සේද හරසර ” වැඩසටහන් පිළිබඳ සහයෝගතා ගිවිසුමට දෙපාර්ශවය අත්සන් තැබුවා.

එය චීනය හා ශ්‍රී ලංකාව යන සාම්ප්‍රදායික මිත්‍රශීලි රටවල් දෙක නව යුගයේදී මිතුදම තහවුරු කිරීමටත් ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කර ගැනීමටත් ගන්නා වැදගත් පියවරක් ලෙස සැලකෙනවා. විශේෂයෙන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට සක්‍රීය ලෙස සහභාගි වන ශ්‍රී ලංකාව සහ එහි ප්‍රමුඛ රට වන චීනය එම රාමුව තුළ පැවැත්වූ ඵළදායි සහයෝගීතාංගයක් ලෙස ද එය හැඳින් විය හැකියි.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යන්න චීනය විසින් ඉදිරිපත් කළ බහුපාර්ශ්වික සහයෝගතා හා හුවමාරු ක්‍රමවේදයක්. පැරණි කාලයේ සේද මාවතෙන් බැඳී තිබුණු රටවල් එක්ව පොදුවේ ජයග්‍රහණ දිනා ගනිමින් එහි ප්‍රතිඵලයන් පොදුවේ බෙදා ගැනීම සඳහා නූතන කාලයේ ගොඩනගා ඇති වේදිකාවක් ලෙස එය පොදුවේ පිළි ගැනෙනවා. එහි සහභාගී වන බහුතරයක් රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් නිසා, යටිතල පහසුකම්, ඉදි කිරීම් ක්ෂේත්‍රයේ එකිනෙක සහාය මෙන්ම ආර්ථික හා වෙළඳ සහයෝගතාව එහි ප්‍රධානම කරුණු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. එමෙන්ම සංස්කෘතික හා ශිෂ්ටාචාරාත්මක හුවමාරු ද එහි කැපී පෙනෙන ලක්ෂණයක් වී තිබෙනවා.

ඒ නිසා මෙවර චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ‘සේද හරසර’ වැඩසටහන් විකාශනය පිළිබඳව සහයෝගිතා ගිවිසුමට එළඹීම පැරණි සේද මාවතෙන් උරුම කර ගත් චීන ශ්‍රීලංකා මිත්‍රත්වය තහවුරු කරමින් එක් තීරයක් එක් මාවතක් යන නව සංකල්පයට අනුකූලව පැවැත්වෙන සුහද ආශ්‍රයක් ලෙස සලකන්න පුළුවන්.

මෙම ‘සේද හරසර’ වැඩසටහන දැනට ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ ජාතික නාළිකාවෙන් නරඹන්නට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව තිබෙනවා. චීන පා පැදි භාවිතයෙන් සැලසෙන ප්‍රවාහන පහසුකම, චීනයේ අධිවේගී දුම්රිය සේවයේ ප්‍රයෝජන සහ ප්‍රථම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය යනාදී ප්‍රධාන තේමාවන්ගෙන් යුත් වැඩසටහන් 8ක් විකාශය වෙනවා. නව චීනය ගැන දැන ගැනීමට රුචිකත්වය ඇති ඔබ මේ වැඩසටහන මඟ නොහරිණු ඇතැයි විශ්වාස කරනවා...


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන