ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල අවශ්‍යතාව
2019-10-28 15:23:35
Share with:


ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල අවශ්‍යතාව

"නුවර යන්න ගියා ම එපා වෙනවා. පැය 5ක් වත් යනවා." ඒ කොළඹ සිට මහනුවරට ගමන් කරන බොහෝ දෙනා නගන මැසිවිල්ලක්. ඒ සියලු දෙනා බලා සිටින්නේ කොළඹ සිට මහනුවර ගමනාගමනය පැය 1.5කින් අවසන් කළ හැකි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන තුරුයි.

යටිතල පහසුකම් ඉහළ නංවාලීම රටක සංවර්ධන අවශ්‍යතාවක්. ඒ අතරින් මාර්ග ඉදිකිරීම කැපී පෙනෙනවා. දුර්වල ගමනාගමන තත්ත්වයන් සෑමවිටම ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල අපහසුතාවක් ගෙන දෙන අතර එය ආර්ථික සංවර්ධනයට බාධාවක් ද වෙනවා. අන්තර් නගර මහා මාර්ග ඉදිකිරීම මගින් විවිධ කලාප ඒකාබද්ධ කර වේගවත් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකි වෙනවා. සෙසු රටවල් වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හා සමාජයේ තිරසාර සංවර්ධනය සඳහා හොඳ යටිතල පහසුකම් සහතික කිරීම අවශ්‍ය වෙනවා.

මේ වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයට අලුතින් කිලෝමීටර් 96ක් එකතු වීමට නියමිතයි. ඒ අනුව පැය 2.5කට අඩු කාලයකින් කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 222ක කොටස ගමන් කළ හැකි වනවා. දැනටමත් දක්ෂිණ අධිවේගී මාර්ගය කොළඹ පිටත වටරවුම් අධිවේගයේ කඩවත දක්වා වූ කිලෝමීටර් 24ක කොටස සමග යා වී ඇති නිසා කඩවත සිට හම්බන්තොට දක්වා එක් අධිවේගී මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 246ක් ගමන් කිරීමේ අවස්ථාව මේ වසර අවසාන වන විට ශ්‍රී ලංකා ජනතාවට උදා වෙනවා.

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවල පිටිය දක්වා කොටස විවෘත කළහොත් දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වෙනවා. මේ මගින් කටුනායක ගුවන් තොටුපලට යාම මෙන්ම මීගමුව දක්වා වන ප්‍රවාහනය තවත් කඩිනම් වනවා.

කඩවත සිට දඹුල්ල දක්වා ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් සිදුකිරීමට නියමිතව තිබෙන්නේ කොටස් 4ක් යටතේයි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවීමෙන් පසු හම්බන්තොට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවතට පැමිණ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පැය 4කට අඩු කාලයකින් මහනුවරට යා හැකි වනවා.

අධිවේගී මාර්ග පද්ධතිය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ වේගවත් ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වනවා. ඉදිරියේදී චීනය වැනි රටවලින් තාක්ෂණික සහය ලබාගෙන රට තුළ එම අධිවේගී මාර්ග පද්ධතිය තව තවත් පුළුල් කරලීමයි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වී තිබෙන්නේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන