අද(27) සිට හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
2024-11-27 10:46:15
Share with:

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය මණ්ඩලය හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමක් ඊයේ(26) රාත්‍රියේ අනුමත කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊශ්‍රායල රජයට අයත් Kan TV පුවත් වාර්තා කළේ එක්සත් ජනපදය සහ ප්‍රංශය විසින් මැදිහත් වූ සටන් විරාමය, ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ දේශීය වේලාවෙන් අද(27) අලුයම 4 සිට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය Itamar Ben-Gvir විසින් බහුතර තීන්දුවට එකඟ නොවී එක ම විසම්මුතික ඡන්දයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආරක්ෂක කැබිනට් මණ්ඩලය වැඩි ඡන්ද දහයකින් සටන් විරාමය අනුමත කළේය.

මෙම ක්‍රියාවලියට එක්සත් ජනපදයේ දායකත්වය අගය කරන අතර තම ආරක්ෂාවට සිදුවන ඕනෑම තර්ජනයකට එරෙහිව ක්‍රියා කිරීමේ අයිතිය රඳවා තබා ගන්නා බව ඊශ්‍රායල ප්‍රකාශයේ සඳහන් වේ.

මේ අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමට පැය හයකටත් අඩු කාලයකට පෙර උතුරු සහ මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක ගුවන් ආරක්ෂක සයිරන් නාද වී ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවේ ලෙබනනයේ සිට මිසයිල තුනක් දියත් කිරීමෙන් පසුව සයිරන් ක්‍රියාත්මක වූ අතර ඒවා ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් සාර්ථක ලෙස මැඩපැවැත් වූ බවයි. ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම