මේ දිනවල චීනයේ සංචාරයක නිරතව සිටින සිංගප්පූරු රාජ්‍ය උපදේශක Lee Hsien Loong මහතා පළ කළ ප්‍රකාශ මාලාවක් පිළිබඳව ජාත්‍යන්තර ජන මතයේ පුළුල් අවධානය යොමු විය. Lee Hsien Loong මහතා චීනයේ විවෘත සහයෝගීතාවය සහ ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝග්‍ය ඇගයීමක් සිදු කළ අතර, එය ‘චීනය දුර්වල වනු ඇති’ බවට වන මතයන් ප්‍රතික්ෂේප කර ඇතැයි බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරයි.
මෙම වසරේ මැයි මාසයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු Lee Hsien Loong මහතා චීනයේ සිදු කරන පළමු සංචාරය මෙයයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නොවැම්බර් 26 වනදා බෙයිජිංහිදී ඔහු හමුවූ විට, චීන-සිංගප්පූරු සහයෝගීතාව සඳහා ඔහුගේ දිගුකාලීන අවධානය සහ සහයෝගය අගය කළේය. චීනයේ අනාගතය පිළිබඳව තම විශ්වාසය යළි අවධාරණය කළ Lee Hsien Loong මහතා, තම රට චීනය සමඟ ගැඹුරු සහයෝගීතාව සඳහා අඛණ්ඩව කැපවන බවත්, චීන මාදිලියේ නවීකරණයට ක්‍රියාකාරීව සහභාගී වන බවත් ප්‍රකාශ කළේය.
චීනයේ අනාගත සංවර්ධනය පිළිබඳව Lee Hsien Loong මහතාගේ දැඩි විශ්වාසයක් ඇති වන්නේ කෙසේ ද? එහි ප්‍රධාන සාධක වන්නේ, සිංගප්පූරුව චීනය සමඟ පවත්නා සහයෝගීතාවයේ සාර්ථක අත්දැකීම මෙන්ම, චීනයේ සමාජ හා ආර්ථික සංවර්ධන ප්‍රවණතා පිළිබඳ ඔහුගේ වෛෂයික, විස්තීර්ණ සහ ගැඹුරු නිරීක්ෂණයන් ය. ඒ අතරම, ආර්ථික ගෝලීයකරණය දැඩි ලෙස ආරක්ෂා කිරීම, ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය ස්ථිරව ඉදිරියට ගෙන යාම සහ විදේශ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ චීනයේ ක්‍රියාවන් තුළින්, දැවැන්ත රටක වගකීම ද ඔහු දැක තිබේ.
සිංගප්පූරුව චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාව ක්‍රියාදාමයේ වැදගත් සහභාගි වන්නෙකි. වසර තිහකට පෙර ගොඩනැගුණු ‘චීන-සිංගප්පූරු Suzhou කාර්මික උද්‍යානය’ ‘ජලාශවලින් පිරී පැවති ස්ථානයක’ සිට අද වනවිට නවෝත්පාදන කලාපයක් බවට පත්ව දෙරට අතර සහයෝගීතාවේ විචිත්‍ර ආදර්ශයක් වී තිබේ. මෙහිදී චීනය සිංගප්පූරුවේ සංවර්ධන අත්දැකීම් ලබා ඇත. ඒ සමගම, සිංගප්පූරුවට චීනයේ කර්මාන්ත, වෙළඳපොල සහ ආර්ථිකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා චීනයේ සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට ද හැකි වී තිබේ.
ගෙවී ගිය දශකයකට වැඩි කාලයක් තුළ චීනය සිංගප්පූරුවේ විශාලතම වෙළඳ හවුල්කරුවා ය. Tianjin ජෛව නගරය, චීන සිංගප්පූරු (Chongqing) උපාය මාර්ගික අන්තර් සම්බන්ධතා ආදර්ශන ව්‍යාපෘතිය, Guangzhou දැනුමේ නගරය….. මෙවැනි දෙරට එක්ව නිර්මාණය කරන ලද ප්‍රමුඛ ව්‍යාපෘති නිරන්තරයෙන් මතුවෙමින් පවතී.
චීන-සිංගප්පූරු සබඳතාව, පසුගිය වසරේ “පුළුල් සහ උසස් තත්ත්වයේ ඉදිරි දැක්මක් සහිත හවුල්කාරිත්වයක්” දක්වා ඉහළ නැංවීමේ සිට, මේ වසර ආරම්භයේ දී අන්‍යෝන්‍ය වීසා රහිත ප්‍රවේශ වැඩසටහන දියත් කිරීම දක්වා ද්විපාර්ශ්වික සහයෝගීතාව අඛණ්ඩව ගැඹුරු වෙමින් පවතී. අනෙකුත් රටවලට ද චීන-සිංගප්පූරු සහයෝගීතාවයෙන් ප්‍රබෝධයක් ලබා ගත හැකි අතර, චීනයේ සංවර්ධනයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි බව Lee Hsien Loong මහතා වැනි සිංගප්පූරු දේශපාලනඥයින්ට විශ්වාසය ගෙන දී ඇත්තේ එවන් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී සත්‍ය තුළින්ය.