කුඩා රටක් වුවද විශාල රටක් වුවද සමාන ලෙස ස්වාධීනව නවීකරණය සාක්ෂාත් කර ගැනීමේ අයිතිය හිමියි-චීන ජනපති
2024-11-26 20:01:04
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීනයේ නිල සංචාරයක නිරත වෙමින් සිටින සැමෝවා අග්‍රාමාත්‍ය Fiame Naomi Mata'afa මහත්මිය හමු වේ.

එම හමුව අද(26) පස්වරුවේ බෙයිජිංහි පිහිටි ද්‍යාඕයූටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී සිදු විය.

කුඩා රටක් වුවද විශාල රටක් වුවද සමාන ලෙස ස්වාධීනව නවීකරණය සාක්ෂාත් කර ගැනීමේ අයිතිය හිමිවීම සහතික කළ යුතුය යන්න චීනයේ තිරසර ස්ථාවරයක් බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දෙයි. සිය ස්වාධිපත්‍යය හා නිදහස ආරක්ෂා කරමින් තම තත්ත්වයට අනුකූල වන සංවර්ධන මාර්ග ගවේෂණය කරන සැමෝවා රාජ්‍යයට චීනයේ ස්ථිර සහයෝගය හිමි වේ. අන්‍යෝන්‍ය විශ්වාසය හා ගරුත්වය තහවුරු කර ගෙන,  පාලන හා සංවර්ධන අත්දැකීම්  හුවමාරු පුළුල් කරමින් දකුණු දකුණු සහයෝගතා රාමුව තුළ  සැමෝවා රාජ්‍යයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහායවීමට චීනය සූදානම් වේ. එසේම අන්‍යෝන්‍ය සහයෝගතා පවත්වමින් පොදු සංවර්ධනය ඉටු කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද ෂී ජින්පිං මහතා කියා සිටියි.

චීනය පැසිෆික් දූපත් රටවල්වලට ලබා දෙන සහනාධාර මත දේශපාලන කොන්දේසි නොපනවන අතර බලහත්කාරයෙන් සහනාධාර ලබා දීම හෝ ‘හිස් පොරොන්දු ප්‍රකාශ කිරීම’ ද සිදු නොකරයි. චීනය පැසිෆික් දූපත් රටවල් සමග විවෘත, සහ‍යෝගී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතර එය ආත්මාර්ථකාමීත්වයෙන් තොරවෙයි. තුන් වන පාර්ශ්වයකට ද එරෙහිවීමක් නොමැත. එසේම චීනය එම ප්‍රදේශය හරහා ‘භූ දේශපාලනික තරගය ’ ඇති කිරීමක් හෝ ‘සිය අධිකාරීත්ව පරාසය’ නිර්ණය කිරීමක් සිදු  නොකරන බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සැමෝවා අග්‍රාමාත්‍ය Fiame Naomi Mata'afa මහත්මිය එහිදී පැවසුවේ ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ විශිෂ්ට නායකත්වය යටතේ චීනය දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ දිනා ගෙන ඇති අතර ගෝලීය දකුණේ රටවලට ආදර්ශයක් ද වී තිබෙන බවයි. චීන මාදිලියේ නවීකරණය පිළිබඳ, විශේෂයෙන් දිළිඳුකම තුරන් කිරීම, හරිත සංවර්ධනය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ රාජ්‍ය පාලන අත්දැකීම් අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරන බව ඇය පැවසුවාය. දිගු කලක් පුරා චීනයෙන් ලැබුණු මහඟු සහායයන්ට සැමෝවා රාජ්‍යය ස්තූතිය පළ කර සිටී. එකම චීනය ප්‍රතිපත්තියෙහි සැමෝවා පාර්ශ්වය තරයේ එල්බ සිටියි. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට අනුබල දෙන බව ද සැමෝවා අගමැතිවරිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම