සාමකාමී මාර්ගයෙන් රුසියානු-යුක්‍රේන ගැටළුව විසඳීමට කැමැත්තෙන් සිටින අතර තත්ත්වයේ ඕනෑම වෙනස්කමක් සඳහා සූදානම් බව රුසියාව කියා සිටී. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඊයේ(21) රාත්‍රියේ රූපවාහිනී දේශනයකදී ප්‍රකාශ කළේ රුසියාවට පහර දීමට බටහිර නිෂ්පාදිත මිසයිල භාවිත කිරීම දෙරට ගැටුමට ගෝලීය ස්වභාවයක් ලබා දී ඇති බවයි.
ඇමරිකාව සහ එහි නේටෝ ආධාරකරුවන් රුසියානු භූමියට එරෙහිව ඔවුන්ගේ දිගු දුර නිරවද්‍ය අවි භාවිත කිරීමට ඉඩ දී තිබීම, ගැටුම් තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වූ බව ව්ලැඩිමීර් පුටින් මහතා කියා සිටියේය. රුසියාවට එරෙහිව දිගු දුර ආයුධ භාවිත කිරීම රුසියාවේ විශේෂ හමුදා මෙහෙයුම් හි ක්‍රියාකාරිත්වයට බලනොපාන බව ද ඔහු පැවසීය.
2019 වසරේදී "අතරමැදි පරාසයේ න්‍යෂ්ටික බලකා ගිවිසුමෙන්" ඇමරිකාව ඒකපාර්ශ්විකව ඉවත් වීම ව්ලැඩිමීර් පුටින් මහතා හෙළා දුටුවේය. ඇමරිකාව ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල කෙටි හා මධ්‍යම දුර මිසයිල ස්ථානගත කරන තුරු, එවැනි ආයුධ ස්ථානගත නොකරන බවට රුසියාව ස්වේච්ඡාවෙන් හා ඒකපාර්ශ්විකව පොරොන්දු වී ඇති බව ද ඔහු කීය. ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඇමරිකාවේ ක්‍රියාමාර්ග ලෝකය ගෝලීය ගැටුමකට තල්ලු කරන බව ව්ලැඩිමීර් පුටින් මහතා අවධාරණය කළේය.