චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතාගේ ඇරයුමෙන් භෝජන සංග්රහයට එක් වෙයි. එය බ්රසීල වේලාවෙන් 20 වැනිදා රාත්රි බ්රසීලියා නුවර දී පැවැත්විණ.
ෂී ජින්පිං මහතා දේශනයක් පවත්වමින්, බ්රසීල ජනපතිගේ සහ බ්රසීල ජනතාවගේ උණුසුම් හා මිත්රශීලී පිළිගැනීමට ස්තූතිය පළ කළ අතර, ජනාධිපති Luiz Inácio Lula da Silva මහතාගේ නායකත්වය යටතේ බ්රසීලයට කැපී පෙනෙන සංවර්ධන ජයග්රහණ ලබා ගැනීමට හැකි වීම පිළිබඳව සුබ පැතුම් පළ කළේ ය.
චීන-බ්රසීල සබඳතාව ‘වඩාත් සාධාරණ ලෝකයක් හා වඩාත් තිරසර ග්රහලෝකයක් එක්ව ගොඩනැගීම සඳහා වන පොදු ඉරණමක් සහිත චීන-බ්රසීල ප්රජාව’ ලෙස වැඩිදියුණු කරන බව ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා සමග එක්ව ප්රකාශ කර ඇතැයි ෂී ජින්පිං මහතා පැවසීය. නායකයන් දෙදෙනා ඉදිරිපිට "එක් තීරයක්, එක් මාවතක්" වැඩපිළිවෙළ එක්ව ගොඩනැංවීම සහ බ්රසීලයේ සංවර්ධන උපාය මාර්ග සම්බන්ධ කිරීම පිළිබඳ සහයෝගිතා ලේඛන අත්සන් කෙරිණ. ඒ අනුව දෙරට අතර සබඳතා නව පිම්මක් ලබා ඇතැයි ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
නව ආරම්භක ලක්ෂ්යයක සිට, පොදු ඉරණමක් සහිත චීන-බ්රසීල ප්රජාව ගොඩනගමින් දෙරට සබඳතාවේ මීළඟ “ස්වර්ණමය වසර 50” ආරම්භ කිරීම සඳහා බ්රසීලය සමඟ එක්ව ක්රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ චීනය ලබා ඇති සංවර්ධන ජයග්රහණ බ්රසීලය බෙහෙවින් අගය කරන බව Luiz Inácio Lula da Silva මහතා එහිදී පැවසීය. ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වෙහෙසෙන ෂී ජින්පිං මහතා, සමාජ සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට දායක වූ අතර, එයින් ලෝකයටම ආදර්ශයක් ලබා දී ඇති බව ඔහු කියා සිටියේ ය. පොදු ඉරණමක් සහිත චීන-බ්රසීල ප්රජාව ගොඩනැගීමට චීනය සමඟ සමීපව කටයුතු කිරීමට බ්රසීලය සූදානමින් සිටින බව ද හෙතෙම ප්රකාශ කර ඇත.