බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය (EU) ඉරාන නාවික අංශයට පසුගිය දා පනවන ලද සම්බාධක දැඩි ලෙස හෙළා දකින බව ඉරාන නිල පුවත් ඒජන්සිය වාර්තා කරයි. රුසියාවට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රවාහනය කළ බවට චෝදනා කරමින් මෙලෙස නාවික සම්බාධක පැනවීම දැඩි ලෙස හෙළා දකින බව ඉරානයේ ඉහළ පෙළේ නාවික නිලධාරියෙක් වන Ali Akbar Safaei මහතා පවසා ඇත.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ නැව් සමාගම යුරෝපා සම්බාධක ලැයිස්තුවේ නව ඉලක්කයක් වන අතර එය ඉරානය මෙන්ම වෙනත් රටවලින් ද වාණිජ භාණ්ඩ රැගෙන යන ප්‍රධාන වාණිජ ආයතනයකි.එමෙන්ම බටහිර ආසියාවේ විශාලතම නැව් සමාගම ද එය බව ඉරානයේ වරාය සහ සමුද්‍රීය සංවිධානයේ කළමනාකාර අධ්යක්ෂ Ali Akbar Safaei මහතා සඳහන් කර ඇත. යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර අදාළ සමාගම කැස්පියන් මුහුදු මාර්ගය ඔස්සේ ඉරානයට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට වැඩි අවධානයක් යොමු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඇමරිකාව මෙන් යුරෝපා සංගමය ද සම්බාධක පැනවීම පුරුද්දක් කර ගනිමින් සිටිය ද ඉරාන සමුද්‍ර බලධාරීන් අදාළ නාවික කටයුතු අඛණ්ඩව කර ගෙන යාමට සූදානම් බව ද සඳහන් වේ.
යුක්රේනයට එරෙහිව රුසියාවේ යුද්ධයට මෙන්ම මැද පෙරදිග සහ රතු මුහුදු කලාපයේ සන්නද්ධ කණ්ඩායම් සහ ආයතනවලට ඉරානය මිලිටරි සහාය ලබා දෙන බව පවසමින් පසුගිය දා යුරෝපා සංගමය මෙම ඉරාන සමාගම සහ එහි නිලධාරීන් සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර නිවේදනයක් නිකුත් කළේය. මේ අතර බ්‍රිතාන්‍යය ද ඉරාන නැව් සමාගමට සහ ඉරාන ජාතික ගුවන් සේවයට ද එම චෝදනා මත සම්බාධක පනවා ඇත.