සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බව චීන ජනපති කියයි
2024-11-19 06:30:26
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට සහභාගි වේ.

එම සමුළුව බ්‍රසීල වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ බ්‍රසීලයේ  රියෝ ද ජැනයිරෝ අගනුවර පැවැත්විණ.

සමුළුවේ පළමු අදියරේදී "සාගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම" යන ප්‍රධාන තේමාව යටතේ පැවති සාකච්ඡාවේදී ෂී ජින් පිං මහතා "පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම" යන මැයෙන් වැදගත් දේශනයක් පැවැත්වීය.

වත්මන් ලෝකය වෙගවත්ව පරිණාමය වෙමින් පවතින අතර මානව සංවර්ධනය පෙර නොවූ විරූ අවස්ථාවන්ට හා අභියෝගවලට මුහුණ දෙයි. ලෝකයේ ප්‍රධාන දැවැන්ත රටවල නායකයන් ලෙස, අපි පොදු ඉරණම සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පය පවත්වා ගෙන ඓතිහාසික වගකීම් දැරිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

චීනයේ හංචෞ නගරයේ පැවති ජී-20 නායක සමුළුවේදී, සංවර්ධනය යන සාකච්ඡා යෝජනාව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණයේ කේන්ද්‍රයේ ප්‍රථම වතාවට තබා ඇත. මෙවර රියෝ ද ජැනයිරෝ නරගයේ පැවැත්වෙන නායක සමුළුව "සාධාරණ ලෝකයක් සහ තිරසර ග්‍රහලෝකයක් ගොඩනැගීම" තේමා කර ගනිමින් "සාගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට ගෝලීය සන්ධානයක්" පිහිටුවීමට තීරණය කර ඇතැයි ෂී ජින් පිං මහතා පැවසීය. හංචෞ සිට රියෝ ද ජැනයිරෝ දක්වා, සියලු දෙනාම එකම අරමුණට කැපවී සිටින අතර එනම් පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම බව හෙතෙම කියාසිටියේය.

එවැනි ලෝකයක් ගොඩනැගීම සඳහා, වෙළඳාම, සංවර්ධනය හා සහයෝගීතාවය යනාදී ක්ෂේත්‍රවල සම්පත් ආයෝජනය වැඩි කළ යුතුය. සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර නිෂ්පාදන හා ජීවන ආකාර අනුගමනය කිරීමට සහාය විය යුතුය. දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය වැනි අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතුය. ජෛව ශිෂ්ටාචාරයක් ගොඩ නගා ගෙන සහභාගීත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කොට බහුපාර්ශ්වවාදය තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

චීනයේ සංවර්ධනය ගෝලීය පොදු සංවර්ධනයේ වැදගත් කොටසකි. චීනයේ මිලියන 800 ක ජනගහනයක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති අතර තිරසර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයේ දරිද්‍රතාවය අඩු කිරීමේ ඉලක්ක නියමිත කාලයට පෙර සාක්ෂාත් කර ගෙන ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. චීනයේ දරිද්‍රතාවය පිටුදැකීමේ අත්දැකීමෙන් පෙන්නුම් කෙරෙන්නේ නොපසුබට ප්‍රයත්න සහ වෙහෙස මහන්සි වී කටයුතු කිරීම මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ඇති දරිද්‍රතාවේ ප්‍රශ්නය විසඳා ගත හැකි යැයි ද ඔහු පවසා ඇත.

සෑම විටම ගෝලීය දකුණේ සාමාජිකයෙකු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල විශ්වසනීය හා දිගුකාලීන සහයෝගීතා හවුල්කරුවෙකු වන චීනය, නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ෂී ජින් පිං මහතා එහිදී චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ පියවර 8ක් ප්‍රකාශයට පත් කළේය.චීනය ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම සහ, සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජගත් සහයෝගිතාව සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දීම ඇතුළු කරුණු ඊට ඇතුළත් වේ.

සමුළුව ආරම්භ වීමට පෙර, ෂී ජින් පි මහතා සහ සෙසු ඊට සහභාගී වූ නායකයෝ බ්‍රසීලය විසින් යෝජනා කරන ලද "සාගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට ගෝලීය සන්ධානය" පිහිටුවීමේ උත්සවයට සහභාගී වූහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම