ඊශ්‍රායලය ගාසා තීරයේ ‘ජන සංහාරයක්’ සිදු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වරින් වර සිදු කර ඇති ඉල්ලීම් නොතකමින්, ජාත්‍යන්තර අධිකරණයේ නියෝග හා ආරක්ෂක මණ්ඩලයේ තීන්දු තීරණ බැහැර කළ ඊශ්‍රායලය, අත්තනෝමතික ව ජීවිත හානි සිදු කිරීම, ශාරීරික වද හිංසා පැමිණවීම මෙන්ම සාගින්නෙන් පීඩාවට පත් කිරීම ද සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ කමිටුවක් පසුගිය 14 වැනි දා නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි. ඒ, ගාසා තීරය ආක්‍රමණය කරමින්, මානුෂීය ආධාර ප්‍රවාහනයට අවහිර කිරීම, සැලසුම් සහගත අයුරින් සාමාන්‍ය ජනතාවටත් සහන කණ්ඩායම්වල පුද්ගලයන්ටත් ප්‍රහාර එල්ල කිරීම සහ ඔවුන් ඝාතනය කිරීම මගිනි. ඊශ්‍රායල හමුදාවේ මෙවැනි ක්‍රියා ‘ජන සංහාරය’ට අනුකූල වීමක් බව ද එහි දැක්වෙයි. මෙම වාර්තාව අද(18) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන්, ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයෙක් පසුගිය 16 වැනි දා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ඊශ්‍රායල හමුදා පලස්තීනයේ සාමාන්‍ය ජනතාවට එරෙහි වී නොමැති බවයි. එමෙන්ම ඊශ්‍රායල හමුදා ගාසා හි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ එකම අරමුණ වනුයේ හමාස් සංවිධානයේ හමුදාමය බලය විනාශ කිරීම පමණක් බවත් මානුෂීය ආධාර සැපයුම් සඳහා අඛණ්ඩ ව ගාසා තීරයට පිවිසීමට ඊශ්‍රායලය තවමත් පහසුකම් සපයන බවත් එම නිවේදනය පෙන්වා දී තිබේ.