එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුව පේරු හි ලීමා නගරයේ දී පසුගිය දා පැවැත්විණ. මෙය ගෝලීය වශයෙන් වැදගත් සමුළුවක් වූ අතර මෙවර සමුළුවේ චීනයේ දායකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු විය. ඒ චීන ජනාධිපතිවරයා පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට කලාපයේ විවිධ රටවල් සාමුහිකව කටයුතු කළ යුතු බවට අවධාරණය කරමින් ඉදිරපත් කළ නව යෝජනා හේතුවෙනි. විවෘතභාවය, සාමුහිකත්වය, හවුල් ප්‍රතිලාභ සහ සහභාගිත්වයෙන් යුත් ආසියානු ශාන්තිකර කලාපයක් නිර්මාණය කිරීම මෙන්ම හරිත නවෝත්පාදනය ප්‍රවර්ධනය වැනි යෝජනා, හෙට දවසේ ගෝලීය සංවර්ධනයට වඩාත් ඵලදායී දායකත්වයක් ලබා දෙනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය සුගත් මහින්ද සෙනරත් මහතා පවසයි.
චීනය සෑම විටම අන් රටවල් සමග සහයෝගයෙන් තිරසර අරමුණකින් යුතුව කටයුතු කරන රටකි. එය එරටට පමණක් නොව සමස්ත ලෝකයටම යොමු වූ අරමුණක් වීම සුවිශේෂ ය. මේ සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ආසියා ශාන්තිකර කලාපය අත් කර ගෙන ඇති වත්මන් සංවර්ධනය සහ සමෘද්ධිය පිළිබඳව සඳහන් කළේ ය. එය ඉදිරියට තවදුරටත් වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රකාශ කළ අදහස් වඩාත් වැදගත් ය. වේගයෙන් වෙනස් වන ලෝකය තුළ විශේෂයෙන්ම ආසියානු ශාන්තිකර කලාපය විවිධ අභියෝගවලට ද මුහුණ දෙමින් සිටී. එහිදී ෂී ජින් පිං මහතා පෙන්වා දුන් පරිදි සියලු දෙනා සාමුහිකව ආරක්ෂණවාදය වැනි ගැටලුවලට මුහුණ දීම ඵලදායී බව ද සුගත් මහින්ද සෙනරත් මහතා ප්‍රකාශ කරයි.
විවෘතභාවය සහ සාමුහිකත්වය ආසියා ශාන්තිකර කලාපයට පමණක් නොව සමස්ත ලෝකයේ සංවර්ධන දිශානතිය වෙනුවෙන් වැදගත් වනු ඇත. එබැවින් කලාපීය වශයෙන් හෝ මෙවැනි යෝජනා ඔස්සේ නව වැඩපිළිවෙළක් දියත් කරන්නේ නම් එය වැදගත් බව ද හෙතෙම කියාසිටී. චීනයේ සංවර්ධනය ඔවුන්ට පමණක් සීමා වූවක් නොව එය පොදු ප්‍රතිලාභ සහිත සංවර්ධනයකි. ඉදිරියටත් චීනයෙන් නව අවස්ථා සාමකාමී සංවර්ධනය සහ පොදු සමෘද්ධිය වෙනුවෙන් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කරයි.
2026 වසරේ එපෙක් සංවිධානයේ සත්කාරක රට ලෙස කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරයි. එය මේ කලාපයේ ඉදිරි සංවර්ධනය සඳහා වඩාත් වැදගත් පියවරක් වනු ඇත. මෙවර සමුළුව ලෝකයට නව බලාපොරොත්තුවක් එක් කළ අතර මෙහිදී චීනය ඉදිරිපත් කළ සාමුහික සංවර්ධන මෙහෙයුම එය යථාර්තයක් කිරීමට පිටුබලයක් වනු ඇති බව ද ආචාර්ය සුගත් මහින්ද සෙනරත් මහතා වැඩිදුරටත් කියාසිටී.