චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා හමුවෙයි. එම හමුව පැවැත්වුණේ බ්‍රසීලයේ වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ Rio de Janeiro අගනුවරදී පැවති 19වැනි ජී-20 නායක සමුළුවට නායක දෙපළ එක් වන අතරතුරදී ය.
ගෙවුණු වසරකට වැඩි කාලයක් චීනය හා ඕස්ට්‍රේලියාව අතර සමීප සම්බන්ධීකරණයක් පවතින අතර දෙපාර්ශ්වය එළඹි එකඟතාවන්ට අනුකූලව කටයුතු කර ඇතැයි චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. චීනය හා ඕස්ට්‍රේලියාව අතර බරපතල ගැටුම් නොමැති හෙයින් සමානත්මතාවය පදනම් කරගෙන මතභේද පසෙක ලා පොදු එකඟතාවන් නිර්මාණය කළහොත් ද්විපාර්ශ්වික සබඳතා වඩාත් යහපත් අන්දමින් වර්ධනය වනු ඇති බවට හෙතෙම විශ්වාස පළ කළේ ය. දෙරට අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණය මත සහයෝගිතා පැවැත්වීමේ වැදගත්කම ද ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ඕස්ට්‍රේලියාව සමග එක්ව වඩාත් ස්ථාවර, පරිණත සහ ඵලදායී චීන-ඕස්ට්‍රේලියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
පසුගිය වසරේ තමන් නිරත වූ චීන සංචාරය සිහි කරමින් Anthony Albanese අගමැතිවරයා එම හමුවේදී කියා සිටියේ එම සංචාරයෙන් පසු මේ දක්වා ද්විපාර්ශ්වික සම්බන්ධතා විවිධ ක්ෂේත්‍රවල සාධනීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවයි. ඕස්ට්‍රේලියාව බලශක්ති ප්‍රතිව්‍යූහගතකරණය හා දේශගුණ විපර්යාස පිළිබඳව චීනය සමග සහයෝගිතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. චීනයේ සංවර්ධනයෙන් ආසියා-පැසිෆික් කලාපයේ දිගුකාලීන ස්ථාවරත්වය හා වර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. කලාපීය සාමය ,ස්ථාවරත්වය හා සමෘද්ධිය වෙනුවෙන් චීනය සමග බහුපාර්ශ්වික සම්බන්ධීකරණය පවත්වාගෙන යාමට ඕස්ට්‍රේලියාව කැමැත්තෙන් සිටී.එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බව ද ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.