පේරු හි Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය වීඩියෝ ආකාරයෙන් එක් වෙති. පේරු වේලාවෙන් 14 වැනිදා රාත්‍රියේ නායක දෙපළ ලීමා අගනුවරදී එම උත්සවයට එක් වෙමින් Chancay වරාය විවෘත කරන බව ප්‍රකාශ කළහ.
Chancay වරාය සාර්ථකව විවෘත කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී සුබපැතුම් යොමු කළේය. ගැඹුරු ජල වරායක් වන Chancay වරාය දකුණු ඇමරිකාවේ පළමු ස්මාර්ට් සහ හරිත වරාය වන අතර, එය පේරු රාජ්‍යයට විශාල ප්‍රතිලාභ මෙන්ම රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරනු ඇතැයි ෂී ජින් පිං මහතා පැවසීය. ගොඩබිම සහ මුහුද සම්බන්ධ කිරීමේ දී හා ආසියාව සහ ලතින් ඇමරිකාව සම්බන්ධ කිරීමේදීත් පේරු රාජ්‍යයේ පිහිටීමේ වාසි ඉන් තහවුරු කෙරෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. පේරු හි Chancay සිට චීනයේ Shanghai දක්වා මාර්ගය සාක්ෂාත් කෙරෙන්නේ, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට අනුව යමින් දෙරට අතර සහයෝගීත්වයෙන් සිදුවුණු සංවර්ධනයේ සංකේතයක් සහ නව යුගයේ ආසියා-ලතින් ඇමරිකා ගොඩබිමත් මුහුදත් යාකෙරෙන කොරිඩෝවක උපත බව ෂී ජින් පිං මහතා පැවසීය.
Chancay වරායේ ගොඩනැගීම, කළමනාකරණය, ප්‍රවාහන ධාරිතාව මෙන්ම විස්තීරණ සේවා මට්ටම වැඩිදියුණු කිරීමට දෙරට එක්ව කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එක්ව සාකච්ඡා කිරීම, ඉදිකිරීම සහ ප්‍රතිලාභ බෙදා ගැනීම අනුගමනය කරමින්, දෙරට ඇතුළු පැසිෆික් වෙරළ ආර්ථිකයන්හි පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එම වරාය සැබැවින්ම පේරු සහ ලතින් ඇමරිකානු හා කැරිබියන් රටවලට සමෘද්ධි මාර්ගයක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වේ. එමෙන්ම එම වරාය හරහා, වඩා පුළුල් ලෙස පොදු ප්‍රතිලාභ අත්කර ගනිමින් විවිධ රටවල ජනතාවට වඩා ප්‍රත්‍යක්ෂ වාසි සහ තෘප්තිය ගෙන දෙනු ඇතැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය අපේක්ෂාව පළ කර ඇත.
Chancay වරාය විවෘත කිරීම සමස්ත පේරු ජනතාවට ආඩම්බර ඓතිහාසික අවස්ථාවක් බව Dina Boluarte මහත්මිය එම අවස්ථාවේදී පැවසුවාය. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ දෙරට සහයෝගයෙන් ඉදිකරන මෙම මහා ව්‍යාපෘතිය, ජාත්‍යන්තර නාවික සහ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වීම කරා පේරු හි වැදගත් පියවරක් සනිටුහන් කරන බව ඇය පෙන්වා දුන්නාය. එම වරාය ලතින් ඇමරිකාව සහ ආසියාව සම්බන්ධ කරන වැදගත් දොරටුවක් බවට පේරු රාජ්‍යය පත් කරනු ඇති අතර, එය ලතින් ඇමරිකාවේ ඒකීයකරණය සහ කලාපීය සමෘද්ධිය ප්‍රවර්ධනය කරනු ඇතැයි ද ඇය සඳහන් කළාය.
එමෙන්ම Chancay වරාය පේරු ආර්ථික සංවර්ධනයට නව පරිච්ඡේදයක් විවෘත කරනු ඇති අතර, රටේ තරඟකාරිත්වය තවදුරටත් ඉහළ නංවමින් ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දෙනු ඇති බව ඇය අවධාරණය කළාය. තම රට වෙත චීනයේ විශ්වාසය සහ සහාය පිළිබඳව Dina Boluarte ජනාධිපතිනිය එහිදී සිය කෘතඥතාව පළ කර ඇත.
පේරු හි ලීමා අගනුවරට කිලෝමීටර් 80 ක් උතුරින් Chancay වරාය පිහිටා ඇත. එය චීනය සහ පේරු රාජ්‍යය අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සමග ඒකාබද්ධව ඉදිකිරීමේ ප්‍රධාන ව්‍යාපෘතියකි. එම වරාය විවෘත කිරීමෙන් පසු, චීනය සහ පේරු රාජ්‍යය අතර නැව්ගත කිරීමේ කාලය දින 23ක් දක්වා කෙටි වනු ඇත. ඉන් සැපයුම් පිරිවැයෙන් 20% කට වඩා අඩු වනු ඇති අතර, සෑම වසරකම පේරු හි රැකියා අවස්ථා ද 8,000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වනු ඇත.