සංවර්ධනය වෙමින් පවතින රටවල් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ කඩිනම් අවශ්‍යතාවයක් පෙන්නුම් කරන බවට අනාවරණයක්
2024-11-14 11:26:30
Share with:

වර්තමානයේ පවතින දේශගුණික විපර්යාස හේතුවෙන් ඒ සඳහා පූර්ව සූදානම් වීමේ අවශ්‍යතාවක් දැඩිව පවතී. විශේෂයෙන්ම එවැනි පූර්ව සැලැස්මක් නිර්මාණය කර ගැනීමේ වැඩි අවශ්‍යතාවක් සංවර්ධනය වෙමින් පවතින රටවලට පවතින බව අනාවරණය වී ඇත.  ඒ මේ සම්බන්ධයෙන් ගෝලීය ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සිදු කළ මත විමසුමක දී ය.

CGTN ආයතනය, චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය සහ නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන ආයතනය (NEIIC) එක්ව ලොව පුරා රටවල් 38ක පුද්ගලයින්  7,658ක් සහභාගී කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. එහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 90.3ක පිරිසක් දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කිරීම හදිසි අවශ්‍යතාවක් බවත් ඒ සඳහා ගෝලීය ප්‍රජාව සම්මුතියක් ගොඩනගා ගනිමින් ප්‍රායෝගික පියවර මත කටයුතු කළ යුතු බවත් සඳහන් කර ඇත.

එමෙන්ම මෑත වසරවල ආන්තික කාලගුණික සිදුවීම් ප්‍රමාණය වේගයෙන් ඉහළ ගොස් ඇති බව සියයට 90.4ක පිරිසක් විශ්වාස කරති. වඩාත් ඵලදායී ගෝලීය දේශගුණික පාලනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා යතුර වනුයේ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 87ක් සඳහන් කර සිටී.

එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80.8ක් පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා අමතර ගෙවීම් සිදු කිරීමට වුව ද කැමති බව ප්‍රකාශ කර ඇත. එය සංවර්ධිත රටවල ප්‍රතිචාර දැක්වූවන්‍ට සාපේක්ෂව සියයට 26.5ක වැඩි වීම ද විශේෂත්වයකි. සමීක්ෂණයට එක් වූ සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින්ගෙන් සියයට 86.6ක් නව බලශක්ති තාක්ෂණයන් සහ නිෂ්පාදන භාවිත කිරීමට දැඩි කැමැත්ත පළ කර ඇත. එය ද සංවර්ධිත රටවල ප්‍රතිශතයට වඩා ලකුණු 17කින් ඉහළ ය. දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා හරිත කර්මාන්තය සංවර්ධනය වේගවත් කළ යුතු බව සියයට 96.1ක් ප්‍රකාශ කර ඇති අතර එය සංවර්ධිත රටවල ප්‍රතිචාර අගයට වඩා සියයට 11කට ආසන්න ඉහළ අගයක් ගනී.

මෙම සමීක්ෂණයට ඇමරිකාව, ජර්මනිය සහ ජපානය වැනි සංවර්ධිත රටවල් මෙන්ම ආර්ජන්ටිනාව, ඉන්දියාව සහ කෙන්යාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයන් ද එක්ව ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම