දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කළ යුතු බවට චීන උප අගමැතිවරයාගෙන් ප්‍රකාශයක්
2024-11-13 16:16:00
Share with:

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ දේශගුණික ක්‍රියාවලියට අනුවර්තනය වීමේ හැකියාව වැඩි දියුණු කළ යුතු බව චීන උප අගමැති Ding Xuexiang මහතා පවසයි. ඒ ඊයේ(12) චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත ලෙස අසර්බයිජානයේ Baku හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (COP29) පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ 29 වන සැසියේ ඉහළ මට්ටමේ රැස්වීමක් අමතමිනි.

චීනය කාලගුණ විද්‍යා ක්ෂේත්‍රයේ පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාවයට වැඩි වැදගත්කමක් ලබා දී ඇති අතර චීන ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් වන නිශ්චිත අවශ්‍යතා ඉදිරිපත් කර ඇති බව හෙතෙම එහිදී සඳහන් කළේය.

වර්තමානය වනවිට ගෝලීය වශයෙන් දේශගුණික විපර්යාස වැඩි බලපෑමක් කර ඇති අතර එය මිනිස් ජීවිතවලට සහ දේපළවල සුරක්ෂිතභාවයට මෙන්ම ආර්ථික හා සමාජීය සංවර්ධනයට ද පෙර නොවූ විරූ අභියෝගයක් බවට පත්ව ඇත. එබැවින් ඇති විය හැකි අවදානම් සඳහා සූදානම් වීමට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ දේශගුණික තත්ත්වයට අනුවර්තනය වීමේ හැකියාව වැඩි දියුණු කිරීම කඩිනම් කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීම‍ට චීනය සියලු පාර්ශ්වයන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද Ding Xuexiang මහතා පැවසීය.

මෙම රැස්වීමේදී, දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳ  2025-2027 චීනයේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම