පසුගිය සති පහ තුළ ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයට එල්ල කළ අඛණ්ඩ ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඊයේ(12) සිය නවතම වාර්තාව නිකුත් කරමින් එම කාර්යාලය ඊශ්‍රායල හමුදාවේ ක්‍රියාකලාපය හෙළා දැක තිබේ.
මෙම වසරේ ඔක්තෝම්බර් 6 වැනිදා ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ මෙහෙයුම් ශක්තිමත් කිරීමේ සිට මේ වන තෙක් අවම වශයෙන් ප්‍රහාර 17 ක් එල්ල කර ඇත. එක් ප්‍රහාරයකින් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මිය ගිය ප්‍රහාර අවම වශයෙන් තුනක් සිදුවූ අතර ඊශ්‍රායල හමුදාවල ඉලක්ක වැඩි ප්‍රමාණයක් නේවාසික ගොඩනැගිලි වන බව එම වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.
ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයට මානුෂීය ආධාර බෙදා හැරීම නීතිවිරෝධී ලෙස සීමා කළ බවත්, එහි ජනතාව සාගත අවදානමකට ලක් කළ බවත් එම වාර්තාවේ සඳහන් වේ. ප්‍රාදේශීය ප්‍රධාන රෝහල් තුනකට ඊශ්‍රායල හමුදාව අඛණ්ඩ ප්‍රහාර දියත් කර ඒවායේ මෙහෙයුම් නතර කිරීමට බල කර තිබේ. එමෙන්ම ඊශ්‍රායල හමුදාව ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ද ප්‍රහාර එල්ල කර එය වසා දැමීමට බල කිරීමෙන් සුන්බුන් අතර සිරවී සිටින මිනිසුන්ට ගැලවීමේ අවස්ථාව අහිමි කර ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.