හිස්බුල්ලා සාමාජිකයින් ඉලක්ක කරමින් ලෙබනනය සහ සිරියාව වෙත පසුගිය සැප්තැම්බර් මාසයේ දී එල්ල කළ මාරාන්තික ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඊයේ පැවති කැබිනට් රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කර ඇත. අදාළ ප්‍රහාරය දියත් කිරීමට අවශ්‍ය බව පවසමින් ඒ පිළිබදව සිය කැබිනට් මණ්ඩලය දැනුවත් කළ විට එහිදී ඊට විරෝධය පළ වුවද, තමා ඔවුන්ට සවන් නොදුන් බව බෙන්ජමින් නෙතන්යාහු මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට උණුසුම් මුහුණුවරක් ගත් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දේශසීමා ගැටුම් වඩාත් උත්සන්න කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල නිලධාරියෙකු එරට භූමිකාව ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සදහා යොදා ගන්නා පේජර් පණිවුඩ හුවමාරු යන්ත්‍ර එකවර පුපුරා යාමට සලස්වා සිදු කළ මෙම ප්‍රහාරයෙන්, ලෙබනනයේ ස්ථාන රැසක එකවර පිපිරීම් මාලාවක් වාර්තා වූ අතර එහිදී අවම වශයෙන් 42 දෙනෙකු පමණ මිය ගොස් තවත් 3,400 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව වාර්තා විය.
හිස්බුල්ලා සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් සැප්තැම්බර් මස 17 සහ 18 යන දිනවල සිදු කළ ලද මෙම මෙහෙයුමේ දී ලෙබනනයේ මෙන්ම සිරියාව පුරා ද පේජර් පණිවුඩ හුවමාරු යන්ත්‍ර සිය ගණනක් පුපුරුවා හරිනු ලැබීය.