රුසියාව උතුරු කොරියාව සමග නව හවුල්කාරිත්වයකට එළඹ ඇත. කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව(DPRK) සමග ඊට අදාළ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ ගිවිසුමට ඊයේ(09) රුසියානු ජනාධිපති Vladimir Putin මහතා අත්සන් තබා ඇත.
පසුගිය ජූනි 19 වනදා දෙරට නායකයින් Pyongyang හිදී පළමුව අත්සන් කළ ගිවිසුම ඔක්තෝබර් 24 වැනි දින රුසියානු ඩූමා සභාව විසින් අනුමත කරන ලදී. අනතුරුව රුසියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය ද නොවැම්බර් 6 වෙනිදා මෙම ගිවිසුමට එකඟත්වය පළ කර ඇත.
ගිවිසුමේ පූර්විකාවේ සඳහන්ව ඇත්තේ දෙපාර්ශ්වයේ මූලික අවශ්‍යතා සලකා බලමින් කලාපීය සහ ගෝලීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම අරමුණු කර ගනිමින් ගිවිසුම ක්‍රියාත්මක වන බව ය. එමෙන්ම ගිවිසුමේ කොන්දේසිවලට අනුව, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සමානාත්මතාවය සහ ජාතීන් අතර මිත්‍රශීලී සබඳතා මෙන්ම සහයෝගී ජාත්‍යන්තර නීතියේ අනෙකුත් මූලධර්ම සඳහා අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වූ තිරසර හවුල්කාරිත්වයක් වර්ධනය කිරීමට දෙපාර්ශ්වය අපේක්ෂා කරයි.
යම් පාර්ශ්වයකට සන්නද්ධ ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවුවහොත්, කඩිනමින් හමුදා සහ වෙනත් ආකාරයේ ආධාර සැපයීමට අදාළ විධිවිධාන ද මෙම ගිවිසුමට ඇතුළත් වේ.