චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලෝක ආර්ථික සහ වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවක්
2024-11-09 18:41:35
Share with:

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය(CIIE) ලෝකයට සුවිශේෂ වටිනාකමක් ගෙන දෙනුයේ විවිධ ර‍ටවල් අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම‍‍ මෙන්ම වාණිජ සහාය ව්‍යාප්ත කිරීම සඳහා වූ ප්‍රවර්ධන වේදිකාවක් නිර්මාණය කිරීමෙන් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. මෙවර ප්‍රදර්ශනයට 129කට අධික රටවල් සහ කලාප සහභාගී වී ඇති අතර, ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා වඩාත් පුළුල් තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කරයි. 

චීනය මෙවැනි ප්‍රදර්ශන පැවැත්වීම තුළින් ලෝක වෙළඳාම ප්‍රවර්ධනයට සහායක් ලබා දෙයි. ඒ සඳහා ලෝක වෙළඳ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) වැනි ජාත්‍යන්තර ආයතන ද එක්ව ඇති  අතර, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සලසනු ලබයි. ප්‍රදර්ශන කාලය තුළ පැවැත්වෙන B2B සාකච්ඡාව සහ ආයෝජන සහ ආර්ථික සංසද මගින් චීනයට පමණක් නොව ලෝක ආර්ථිකයට ද ප්‍රතිලාභ හිමි කර දෙන බව හෙතෙම කියාසිටී.

චීනය CIIE මගින් ස්ථිර ආර්ථික වර්ධනයක් උදෙසා ලෝක වෙළඳපොළ අවස්ථා පිරිනැමීම සහ පාරිසරික හා තාක්ෂණික දායකත්වය සැපයීම සිදු කිරීම විශේෂත්වයකි. එබැවින් CIIE ආශ්‍රිතව විවිධ කලාපවලට තාක්ෂණික දැනුම සහ නව විකල්ප අවස්ථා ලබා දීම මෙන්ම වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමේ දී චීනයේ දායකත්වය ද වඩා වැදගත් වනු ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මෙවර ව්‍යාපාරික මණ්ඩපයේ මෙන්ම ජාතික මණ්ඩපයේද ශ්‍රී ලාංකික අපනයන භාණ්ඩ ප්‍රදර්ශනය කරයි. ව්‍යාපාරික මණ්ඩපයේ ආහාර හා කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් 14 දෙනෙකු සහ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ අපනයනකරුවන් 04 දෙනෙකු සහභාගී වී ඇතැයි ද හෙතෙම කියාසිටී. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් CIIE ප්‍රදර්ශනයට සහභාගී වීම මෙරට ව්‍යාපාරිකයින්ට විශේෂ වාසි අත් කර දෙයි. චීනය ලොව විශාලතම ආනයන වෙළඳපොළ වන අතර එහි සක්‍රිය පාරිභෝගික පිරිස හා විවිධ නිෂ්පාදන ප්‍රවණතා මත ශ්‍රී ලංකා නිෂ්පාදනවලට විශේෂ ඉල්ලුමක් පවතී. CIIE මගින් ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින්ට චීන වෙළඳපොළට නවීන නිෂ්පාදන සහ සේවාවන් හඳුන්වා දෙමින්, ඉල්ලුමට ගැලපෙන නිෂ්පාදන අලෙවිය වැඩි දියුණු කිරීමේ හැකියාව ලබා දී ඇත. මෙම අවස්ථාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ විනිමය ඉපයීමට, දේශීය නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශයක් ලබා ගැනීමට සහ නව වෙළඳ සබඳතා ගොඩනැංවීමට මනා පරිසරයක් නිර්මාණය වන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙවැනි ප්‍රදර්ශනවලට සහභාගී වීම තුළින් ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ට නව බහුජාතික හවුල්කාරීත්ව සම්බන්ධතා සහ හවුල්කාරී ආයෝජන අවස්ථා බිහි කර ගැනීමට ද හැකියාව ලැබේ. චීන වෙළඳපොළ පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට ද මින් අවස්ථාව උදා වනු ඇත. එබැවින් මෙම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවලට සිය වෙළඳ ශක්‍යතා හඳුනා ගැනීමට සහ එය ව්‍යාප්ත කිරීමට මනා වේදිකාවක් නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් පවසයි. 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම