මැදපෙරදිග ඇමරිකානු හමුදා පැවැත්ම කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් බවට ඉරානයෙන් චෝදනා
2024-11-05 10:35:46
Share with:

ඉරානය වෙත මෑත කාලීනව එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු දෙරට අතර යුද උණුසුම වඩාත් තීව්‍ර වී ඇති පසුබිමක, මැදපෙරදිග කලාපයේ ඇමරිකානු හමුදා පැවැත්ම කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් ලෙස හඳුන්වා දිය හැකි බව ඉරානය පවසයි.

ටෙහෙරාන් හි පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Esmaeil Baghaei මහතා මේ බව අවධාරණය කර සිටියේ ය.

වොෂින්ටනය සතු B-52 බෝම්බ හෙළීමේ යානා මැදපෙරදිග වෙත පැමිණ ඇති බව ඇමරිකාව පසුගියදා තහවුරු කිරීමත් සමග, කලාපය තුළ ඇමරිකානු හමුදාවන්ගේ නවතම ගොඩනැගීමට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කර ඇත.

B-52 වර්ගයේ බෝම්බ හෙලීමේ යානා මෙලෙස මැදපෙරදිග කලාපයේ ස්ථානගත කර ඇත්තේ 2019 වසරෙන් පසුව ය.

එවැනි තත්ත්වයක් තුළ මෑත කාලීනව ඇමරිකානු හමුදා මැදපෙරදිග නැගී සිටීම කලාපයේ ස්ථාවරත්වය අඩපණ කිරීමක් බව ඉරානය පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ඇමරිකානු හමුදා බලය මෙලෙස තර කර ගැනීම, ඉරානයේ ඉදිරි ආරක්ෂාකාරී වැඩපිළිවෙලට කිසිදු බලපෑමක් ඇති නොකරන බව ද ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Esmaeil Baghaei මහතා පවසයි.

එහෙත් ඇමරිකානු හමුදා මැදපෙරදිග නැගී සිටීම සම්බන්ධයෙන් මෙහිදී ඉරානය අනතුරු අඟවා ඇති අතර,  විදේශීය මැදිහත්වීමකින් තොරව කලාපයේ ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් සහයෝගීව කටයුතු කරන ලෙස  ඉරානය සෙසු කලාපීය රටවලින් ඉල්ලා ඇත.

මේ අතර ඊශ්‍රායලය තම භූමියට එරෙහිව මෑත කාලීනව දියත් කළ ආක්‍රමණ සදහා ප්‍රතිචාර දැක්වීමට තම රට සතු සියලු සම්පත් භාවිත කරන බව ඉරානය යළි අවධාරණය කර ඇත.

ඒ පිළිබද අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Esmaeil Baghaei මහතා අවධාරණය කර ඇත්තේ, ඊශ්‍රායලයේ ඕනෑම ආක්‍රමණයකට එරෙහිව තම රටෙහි ක්‍රියාමාර්ගය ස්ථිර සහ තීරණාත්මක බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම