එක්සත් ජාතීන්ගේ මෑත පෙරදිග පලස්තීන සරණාගතයන් සඳහා වන ඒජන්සිය තහනම් කරමින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කිරීම පිළිගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් මහතා පවසයි.ඉන් පලස්තීන සරණාගතයන්ට බරපතල ගැටළුවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසින් සඳුදා දිනයේ දී නීති දෙකක් සම්මත කරන ලදි. ඉන් එක් නීතියක් මගින් එම ඒජන්සියට ඊශ්‍රායලය තුළ ක්‍රියා කිරීම තහනම් කර තිබේ. අනෙක් නීතිය මගින් ඊශ්‍රායල ආයතනවලට එම ඒජන්සිය සමග කිසිදු ආකාරයකින් සම්බන්ධවීම තහනම් කර ඇත. මෙම නීති මගින් ඊශ්‍රායල පලස්තීන ගැටුමට විසඳුමක් සෙවීම සහ කලාපීය සාමය හා ආරක්ෂාව කඩා කප්පල් කරන බවද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ මෑත පෙරදිග පලස්තීන සරණාගතයන් සඳහා වන ඒජන්සිය පලස්තීන සරණාගතයන්ට අත්‍යවශ්‍ය ආධාර සපයන මූලික සැපයුම්කරු වන අතර එම ඒජන්සියට විකල්පයක් නොමැති බවද හෙතෙම කියා සිටී.එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය හා ජාත්‍යන්තර නීතිය අනුගමනය කරන ලෙසට හෙතෙම ඊශ්‍රායලයට අවධාරණය කරයි.
මේ අතර එම ඒජන්සියේ කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේ ඊශ්‍රායල නීති භයානක පූර්වාදර්ශයක් බවයි.ඉන් සිදුවන්නේ පලස්තීනුවන් තවත් පීඩාවට පත්වීම බවද හෙතෙම කියා සිටී.