යුද ගැටුම් සහ ආර්ථික අර්බුද හේතුවෙන් ලොව පුරා අතිශය තීරණාත්මක මුහුණුවරක් පෙන්නුම් කෙරෙන පසුබිමක, බටහිරයෙන් මිදුනු නැගිටීමක් ලොව හමුවේ තැබීමේ තවත් ප්‍රබල ප්රයත්නයක් ලෙස BRICS සමුළුව පසුගියදා රුසියාවේදී පැවැවිණ. ඒ අනුව කරුණු කිහිපයක් මූලික කරගනිමින් මෙවර BRICS සමුළුව අතිශය තීරණාත්මක සහ වැදගත් ලෙසින් සැලකිය හැකි බව හිටපු ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
ඒකීය බල කේන්ද්‍රයකින් යුත් පාලන තන්ත්රයක් පවත්වාගෙන යන ආකාරය වත්මනෙහි දක්නට ඇති බවත්, එහිදී යුක්තිය, සාධාරණත්වය වෙනුවට, වඩා වැඩි බලයක් සහිත පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සඳහා පමණක් ලෝකය තුළ ඉඩකඩ විවර වීම ගැටළු සහගත බවත් අලි සබ්රි මහතා පෙන්වා දී ඇත.
එබැවින් ලොව සැමට එක සේ සාධාරණත්වය ඉටු වීමට නම්, මෙම තත්ත්වයේ සැබෑ වෙනසක් අවශ්‍ය බව එතුමා පවසයි.
ඒ අනුව එම ක්‍රමය වෙනස් කිරීම සඳහා කැපවුණු සහ පවතින ක්‍රමයෙන් පීඩාවට පත්ව සිටින සියලු පාර්ශ්වයන් ඒකරාශී විය යුතු බව හිටපු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
BRICS සමුළුව හරහා සිදු වනුයේ, තනි පාර්ශ්වයක් වෙත මෙතෙක් ලොව හිමි ව ඇති, මූල්‍ය බලය, යුදමය බලය මෙන්ම ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික බලය, පොදුවේ වෙනස් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි. එබැවින් මෙම BRICS සමුළුව ඒ සඳහා විශාල දායකත්වයක් දක්වන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේ ය.
එමෙන්ම වත්මන් ගෝලීය පාලන යාන්ත්‍රණය තුළ ගෝලීය දකුණ, දැඩි දුශ්කරතාවට පත්ව ඇති බව ද අලි සබ්රි මහතා පවසයි. එබැවින් මෙම තත්ත්වය වෙනස් වන්නට නම්, ඊට නායකත්වය දීමේ හැකියාව මෙන්ම කැපවීම සහිත වූ ද, ගෝලීය දකුණ සමඟින් සැමදා එකට සිටගත් චීනයට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරෙන බව එතුමා අවධාරණය කර ඇත.
එබැවින් චීනයේ ගරු ජනාධිපති ෂී ජින්පිං මහතා මෙවර බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සහ එතුමාගේ සහ චීනයේ නායකත්වය ද ඊට ලබා දීම ඉතා වැදගත් බව අලි සබ්රි මහතා පෙන්වා දී ඇත. මන්දයත් මෙම නව චින්තනය ප්‍රගුණ කිරීම සඳහා ගෝලීය දකුණේ රටවල් ඒකරාශී වීම කාලීනව අත්‍යවශ්‍ය බව හිටපු ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අදහස් කරයි.