එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා 2023 වසරේ ජූලි මස 23 වැනිදා “සාමය සඳහා නව න්‍යාය පත්‍රයක්” නමින් ලියැවිල්ලක් ප්‍රකාශයට පත් කළේය. මේ ලේඛනයේ දී මහලේකම්වරයා සඳහන් කළේ ලෝකය හැරවුම් ලක්ෂයක සිටින බවයි. පශ්චාත් නිරවි යුද සමය අවසන් වී නව ලෝක රටාවක් බිහිවෙමින් තිබෙන බව අන්තෝනියෝ ගුටරෙස් පමණක් නොව 2022 වසරෙදී එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් ද ස්ථිරවම කියා ඇත. බ්‍රික්ස් හවුලේ වැදගත්කම සහ එහි ක්‍රියාකාරිත්වය අප විමර්ශනය කළ යුත්තේ මෙම සන්දර්භයේ සිට බව ප්‍රවීණ ජාත්‍යන්තර දේශපාලන විචාරක, හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසීය.
සෝවියට දේශය බිඳවැටීමත් සමග ඒකද්‍රව ලෝක රටාවක් ආරම්භ වූ අතර ඒ අනුව ලෝක දේශපාලන, ආර්ථික, යුද බලය අතින් බිහි වූ ඇමරිකානු බලවත් රාජ්‍ය හා ඒ සමග අනුගත වී තිබෙන සෙසු රටවල ක්‍රියාකාරිත්වය බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි, මානව වර්ගයාගේ යහපතට හේතු වී නොමැත. මේ ලෝක රටාව ඇතුළත දිගින් දිගටම බියකරු යුද්ධ හට ගත් අතර ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් දෙසට ගමන් කරමින් තිබේ. පරිසර විනාශය, කාලගුණ විපර්යාසය වැනි ප්‍රපංචයන් හේතුවෙන් පෘථිවිය මත මානව සංහතියේ පැවැත්ම පවා අභියෝගයට ලක් වී තිබෙන කාලයක ලෝකයේ දකුණේ ගෝලීය රටවල් අතරින් නව ලෝක රටාවක් අවශ්‍ය බවට අදහසක් මතු විය. ගැටුම වෙනුවට සහයෝගතාව, පරිසර විනාශය වෙනුවට පරිසර සංරක්ෂණය, සැකය වෙනුවට මිත්‍රත්වය, දිළිඳුකම වෙනුවට ආර්ථික වෘද්ධිය පදනම් කරගත් ආර්ථික රටාවක් අවශ්‍ය වූ අතර මේ නව ප්‍රවණතාවයේ පෙරමුණ ගැනීමට මහජන චීනය සමත් වූ බව මොහාන් සමරනායක මහතා කියා සිටී.
ලෝකයේ දිළිඳු රටවල් දිළිඳු බවේම ගිලී ඇති අතර ධනවත් රටවල් ඒ දිළිඳු රටවල් තමන්ගේ අනසක යටතේ පාලනය කරමින් එම රටවල ආර්ථික අතිරික්තය දිගටම පැහැර ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ බලවත් රටවල් ක්‍රියා කළේය. එබැවින් චීන මහජන සමූහාණ්ඩුව, රුසියානු ෆෙඩරේශනය සහ තවත් ඔවුන් සමග ක්‍රියා කළ රටවල් එක්ව 2009 වසරේ දී බ්‍රික්ස් හවුල ආරම්භ කිරීමට පියවර ගැණින. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව එක්ව ආරම්භ වූ බ්‍රික්ස් සමග ගෝලීය දකුණේ රටවල අවශ්‍යතාව ප්‍රසාරණය වෙමින් පවතී. එම බ්‍රික්ස් හවුලේ 16 වැනි රාජ්‍ය නායක හමුව පසුගිය ඔක්තෝබර් 23 වැනිදා රුසියාවේ කසාන් නගරයේ දී පැවැත්විණ. මේ සමුළුවේ දී ලෝකයේ ප්‍රගමණයට හේතුවන, වර්තමානයේ පවතින ආධිපත්‍යවාදී ලෝක රටාවට අභියෝග කරන, ලෝකයේ සංවර්ධනය වන දිළිඳු ජාතීන්ගේ ආර්ථික වර්ධනයට ඉවහල් වන මාර්ගයක් විවෘත කරන්නා වූ කථිකාවක් ගොඩනැඟීමට හැකි වී ඇතැයි සමරනායක මහතා පැවසීය.
මෙහි වැදගත් අවස්ථාවක් වන්නේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 16වැනි බ්‍රික්ස් සමුළුව අමතා කළ කතාවේ දී ඉදිරිපත් කළ අදහස් සමූහය බව හෙතෙම පෙන්වා දෙයි. ගැටුම වෙනුවට සහයෝගීතාව මුල් කර ගත් ලෝක රටාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව චීන නායකයා සඳහන් කර ඇත. යුද්ධය වෙනුවට සාමය සාක්ෂාත් කර ගැනීමත්, නවෝත්පාදන බිහිකිරීමේත් සංකල්පය ඔහුගේ කථාව තුළ කැපී පෙණින. මෙය දියුණු වන රටවලට විශේෂයෙන් අත්‍යවශ්‍ය කාරණයකි. මන්ද සංවර්ධනය වන රටවල් මුහුණ දෙන විශාලම පීඩනයක් වන්නේ තම ආර්ථිකය විවිධාංගීකරණය නොවීම, ප්‍රසාරණය නොවීම, නව හැඩරුවක් නොගැනීමයි. එම නිසා ඔවුන්ට ආර්ථික වෘද්ධිය සඳහා, මිනිසාගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා, සමාජ සාධාරණත්වය සහතික කිරීම සඳහා නවෝත්පාදන බිහි කිරීම අවශ්‍ය වනු ඇත.
චීන ජනාධිපතිවරයා යෝජනා කළ තවත් වැදගත් සංකල්පයක් වන්නේ චිරස්ථායී හරිත සංවර්ධනයයි. මනුෂ්‍යයා පරිසරයේ කොටසක් මිස පරිසරය මනුෂ්‍යයාගේ කොටසක් නොවේ. මිනිසාගේ පැවැත්මට, ජීවන තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට පරිසරය භාවිත කළ හැක්කේ පරිසරය සංරක්ෂණය වන, ආරක්ෂා වන සන්ධර්භයක් තුළ පමණි. වර්තමාන ලෝකය කාලගුණ විපර්යාසය නැමැති සංසිද්ධිය නිසා ඉතා බරපතල ව්‍යසනයකට මුහුණ දී සිටී. මේ නිසා පරිසරය ආරක්ෂා කරමින් ආර්ථික වෘද්ධියක් ගොඩනැඟිය යුතු බවත්, මිනිසාගේ අසීමිත ආසාවන් පාලනය කිරීමත් සිදු කළ යුතුය. මේ සත්‍ය අද ලෝකයේ දෙවන ආර්ථිකය හිමි චීන නායකත්වය පිළිගෙන තිබෙන අතර බ්‍රික්ස් රටවල් ඒ පිළිබඳ පොදු එකඟත්වයක පවතී.
චීන ජනාධිපතිවරයා යුක්තිය ඉටු වන ලෝක සමාජයක් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළේය. අද පවතින ලෝකය තුළ ධනවත් සහ බලවත් රටවල් අතලොස්සක් අසාධාරණ ලෙස ලෝකය පාලනය කරයි. මේ පිළිබඳ කදිම නිදසුන් දෙකක් අප හමුවේ දැන් දිගහැරෙමින් තිබේ. ඉන් එකක් 2022 වසරේ පෙබරවාරි මාසයේ සිට පවතින රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයයි. ඇමරිකා එක්සත් ජනපදය සහ නේටෝ රටවල් යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් මෙම යුද්ධය නතර කිරීමට හැකිය. ඊළඟ බිහිසුනු යුද්ධය 2023 වසරේ ඔක්තෝබර් 07 වැනිදා සිට ඊශ්‍රායල් හමුදා පලස්තීන ගාසා තීරයේ ගෙන යන බියකරු මනුෂ්‍ය සංහාරයයි. දැන් එය ලෙබනනයටත් ව්‍යාප්ත කොට තිබේ. ඊශ්‍රායලයට තමන්ගේ ආරක්ෂාව සඳහා අයිතියක් තිබෙන නමුත් ඉවක් බවක් නොමැතිව මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට සහ සාමූහික වශයෙන් දඩුවම් පැමිණවීමට අයිතියක් නොමැති අතර එය අන්තර්ජාතික නීතියකින් සාධාරණීකරණය කළ නොහැක. මේ නිසා යුක්ති සහගත ලෝකයක් අවශ්‍ය වේ. මේ යුක්ති සහගත ලෝකය බිහි කිරීමට අධිපති රටවල මතය මහත් බාධාවක් ව පවතී. ගාසා තීරයේ යුද්ධය නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනා සියල්ලම ඇමරිකා එක්සත් ජනපදය නිශේධනය කර ඇත. මේ ඝාතනය චීනය හෝ රුසියාව සිදු කරන්නේ නම් එවිට එක්සත් ජනපදයේ සහ බටහිර මෙන්ම නේටෝවේ ප්‍රතිචාරය කුමක් විය හැකි ද? එබැවින් යුක්ති සහගත ලෝකයක් අප සියලු දෙනාට අවශ්‍ය වන බව ද සමරනායක මහතා පැවසීය.
මිනිසුන් සහ මිනිසුන් අතර සබඳතාවන් ගොඩනැඟීම, ෂී ජින්පිං මහතා යෝජනා කරන අනෙක් කරුණයි. කාලය පටන් අන්තර්ජාතික නායකයින් අතර සබඳතා පැවතිණ. නමුත් නායකයින් වෙනස් විය හැකිය. එබැවින් සබඳතා පැවතිය යුත්තේ ජනතාව අතර, භාෂා අතර, සංස්කෘතීන් අතර සහ ආගම් අතර වේ. මේ අදහස් චීන ජනපතිවරයා බ්‍රික්ස් හමුවේ තැබූ යෝජනාවලියට ඇතුළත් විය. මේ වන විට වැඩි වැඩියෙන් බ්‍රික්ස් සමූහය හා එකතු වෙමින් සිටින රටවල් ඉහළ යමින් තිබේ. මෑතක දී ශ්‍රී ලංකාව ද බ්‍රික්ස් සමූහය හා එක් වීමට අයදුම් කර ඇත. මේ සියලු රටවල් සහයෝගයෙන් අපේක්ෂිත ලෝකය නිර්මාණය කරන්නට දායක වන්නේ නම් මනුෂ්‍යයාට බලාපොරොත්තු තබා ගත හැකිය. පෘථිවිය මත මනුෂ්‍යයාගේ සාමය, සංවර්ධනය, සාධාරණත්වය, පරිසර සංරක්ෂණය, එකිනෙකාට කරන බලපෑමෙන් තොර ලෝක රටාවක් පවත්වා ගන්නට හැකි වනු ඇත. ඒ අනුව චීන නායකත්වයේ යෝජනා, අදහස් සමූහය, යුක්තිය සාධාරණත්වය සලකන සෑම කෙනෙකුගේම විමර්ශනයට ලක් විය යුතු බව ප්‍රවීණ ජාත්‍යන්තර දේශපාලන විචාරක, හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසීය.