චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා චීන සාගර විද්‍යා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ශත සංවත්සරයට සුබ පතමින් පිළිතුරු ලිපියක් යොමු කර ඇත. මෑතකදී යොමු කෙරුණු එම ලිපියෙන් ෂී ජින් පිං මහතා විශ්වවිද්‍යාලයේ සියලුම ගුරුවරුන්, සිසුන්, කාර්යමණ්ඩලය සහ ආදි සිසුන්ට උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
විශ්වවිද්‍යාලය පිහිටුවීමේ සිය වැනි සංවත්සරය නව ඇරඹුමක් ලෙස ගෙන, චීන සාගර විද්යාවිශ්වවිද්යාලයට සිය තාක්ෂණික අංශය සංවර්ධනය කර ගනිමින් ජාතික උපායමාර්ගික අවශ්‍යතාවන්ට ඉලක්කගත වූ විෂයයන් සකස් කිරීමේ යාන්ත්‍රණය හා නිපුණතා සහිත පුද්ගලයන් පුහුණු කිරීමේ ව්‍යුහය සම්පූර්ණ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සිය පිළිතුරු ලිපියෙන් සඳහන් කර ඇත.
ස්වයං නවෝත්පාදන හා ප්රමුඛ පෙළේ සමුද්‍ර විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ ශක්තිමත් කරමින්, යුගයේ වැදගත් වගකීම් භාර ගත හැකි කැපී පෙනෙන සමුද්‍ර නිපුණතාවන් සහිත ප්‍රවීණ පිරිසක් වැඩි වශයෙන් බිහි කළ හැකි යැයි විශ්වාස කරන බව ද එහි සඳහන් වේ. ගුණාත්මක අධ්‍යාපනයක් සහිත රටක් මෙන්ම සමුද්‍රීය හැකියාවෙන් බලවත් රටක් නිර්මාණය කිරීම සඳහා චීන සාගර විද්‍යා විශ්වවිද්‍යාලය වඩා වැඩි දායකත්වයන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.