රුසියාවේ Kazan නගරයේ පැවැත්වෙන 16 වන බ්‍රික්ස් නායක සමුළුව සඳහා චීනය, රුසියාව සහ ඉන්දියාව වැනි ප්‍රධාන රටවල් මෙන්ම ගෝලීය දකුණේ රටවල නායකයින් විශාල ප්‍රමාණයක් එක්ව සිටී. මෙවර බ්‍රික්ස් සමුළුව පැවැත්වෙන්නේ ගෝලීය වශයෙන් ඉතා තීරණාත්මක අවස්ථාවක ය. මේ සම්බන්ධයෙන් විග්‍රහ කිරීමේදී බ්‍රික්ස් සංවිධානයේ බිහිවීම, එම සංකල්පයේ වැදගත්කම සහ අභියෝග පිළිබඳ පූර්ව අවධානයක් යොමු කිරීම වඩා වැදගත් බව හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ ආර්ථික වශයෙන් මූලික සාධකය බවට පත්වූයේ ඇමරිකානු ඩොලරයේ ආධිපත්‍යයි. ලොව විවිධ රටවල ආර්ථිකය සහ වෙළඳාම කුමන මට්ට්මක පැවතිය ද සෑම කාර්යයක්ම ඩොලර් හුවමාරුව ඔස්සේ කිරීමට සිදුවිණ. විවිධ ගිවිසුම් සහ ජාත්‍යන්තර සංවිධාන ද ඊට අවශ්‍ය පසුබිම සකසා දුන් අයුරු දැක ගත හැකි විය. නමුත් එම පැරණි යුගය අවසන්ව චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු අප්‍රිකාව මෙන්ම බ්‍රසීලය වැනි රටවල් මෙන්ම මැද පෙරදිග රටවල් ද වර්තමානයේ ආර්ථික වශයෙන් බලවත් වී ඇත. එම රටවල් සිය වෙළඳ කටයුතු ද වේගයෙන් ව්‍යාප්ත කර තිබේ. මේ සමගම බොහෝ රටවල් ඇමරිකන් ඩොලරයෙන් බැහැරව නව විනිමය මුදල් ඒකකයක් පිළිබඳ සාකච්ඡාවකට යොමුව ඇත. එමෙන්ම මේ වනවිට ඇමරිකානු ආර්ථිකය ද දුර්වල වෙමින් ක්‍රමයෙන් ඩොලරයේ ආධිපත්‍ය බිඳ වැටෙමින් තිබේ. එවන් මොහොතක මේ සඳහා සුදුසු සංවාදයක් ඇති කර ගත හැකි වේදිකාවක් ලෙස බ්‍රික්ස් යාන්ත්‍රණය කටයුතු කරමින් සිටී. ඒ අනුව ඉදිරියේ දී අධිපතිවාදයෙන් වියුක්ත විසිරුණු ආර්ථික සහ මුදල් හුවමාරු ක්‍රමයකට ලෝකය යොමු වනු ඇති බව ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.
බ්‍රික්ස් සංවිධානයේ ප්‍රධාන පාර්ශ්වයක් වන චීනය දෙස අවධානය යොමු කිරීමේ දී ගෙවී ගිය වසර කිහිපය තුළ චීනය වේගවත් ආර්ථික සංවර්ධන ශක්තියක් ගොඩනගා ගෙන ඇත. ඒ සමගම චීන මුදල් ඒකකය වන රෙන් මින් බී (RMB) හි ගනුදෙනු පරිමාව ද වර්ධනය වෙමින් පවතින අතර අනෙකුත් බ්‍රික්ස් රටවල් ද සිය ශක්තීන් තුළින් ඵලදායී ගමනක නිරත වෙමින් සිටී. එමෙන්ම බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණය තවදුරටත් පුළුල් කිරීම ඔස්සේ අනාගත ගෝලීය ආර්ථිකය තුළ දැවැන්ත පරිවර්තනයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැක. ගෝලීය දකුණත් වේගයෙන් දියුණු වන බටහිර නොවන රටවලට ද එහිදී වැඩි කාර්යභාරයක් පවතින බව හෙතෙම කියාසිටී.
චීනය වර්තමානයේ විවිධ අභියෝගවලට මුහුණ දුන්න ද සාමුහිකව කටයුතු කිරීමේ සංකල්පයෙන් ශක්තිමත්ව නැඟී සිටී. එහෙයින් බ්‍රික්ස් සංවිධානය තුළ චීනයේ මැදිහත්වීම වඩා වැදගත් ය. වර්තමානයේ බ්‍රික්ස් සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය අවශ්‍ය නායකත්වය ලබා දෙමින් “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල” වැනි වැඩසටහන් මගින් නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම මෙවර සමුළුවට ද සිය උපරිම සහයෝගය ලබා දෙමින් නායක සමුළුවට එක් වීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියාවේ Kazan නගරයට ගොස් සිටී. දශක තුනක් ධනාත්මක වර්ධන ප්‍රවණතාවක කටයුතු කළ චීනයට පමණක් නොව සමස්ත බ්‍රික්ස් සමූහයට ද ඉදිරි කාලය තුළ අඛණ්ඩ තිරසර බව සහ සාමකාමී ගෝලීය පරිසරයක් නිර්මාණය කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. 16 වන බ්‍රික්ස් නායක සමුළුවේ සංවාද සහ තීරණ ඒ සඳහා පිටිවහලක් වනු ඇතැයි හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.