පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (ඇ.ඩො 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.
පසුගිය 22 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොංග් (Qi Zhenhong) මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.
විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.
එමෙන්ම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ.