චීන - ඉරාන ජනපතිවරුන් අතර හමුවක්
2024-10-23 23:25:19
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉරාන ජනාධිපති Masoud Pezeshkian මහතා හමුවෙයි. ඒ අද(23) පස්වරුවේ රුසියාවේ Kazan හිදී ය. ෂී ජින් පිං මහතා බ්‍රික්ස් නායකයන්ගේ 16 වන සමුළුවට සහභාගී වන අතරතුර එම හමුව සිදුවිණ.

ජාතික ස්වෛරීභාවය, සුරක්ෂිතතාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීමටත් අනන්‍ය ආර්ථික හා සමාජීය සංවර්ධනය ක්‍රමයෙන් ඉදිරියට ගෙන යාමටත් චීනය ඉරානයට සහාය ලබා දෙන බව ෂී ජින්පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. ඉරානය සමග අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට ද චීනය කැමැත්තෙන් සිටී. එමෙන්ම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම වැනි ජාත්‍යන්තර සබඳතා රෙගුලාසි තහවුරු කිරීම සඳහා ද ඉරානය සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ඔහු පැවසීය. ඉරානය සමග විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගීතා ශක්තිමත් ‍කොට දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ විධිමත් හා ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

ප්‍රථම වරට නිල සාමාජික රටක් ලෙස බ්‍රික්ස් නායක සමුළුවට ඉරානය සහභාගී වීම සම්බන්ධයෙන් ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමමින්, බ්‍රික්ස් සහ අනෙකුත් බහුපාර්ශ්වික රාමු තුළ ඉරානය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව පෙන්වා දුන්නේය.

මේ අතර චීනය ඉරානයේ වැදගත්ම සමීප සහකරුවෙක් වන අතර ඉරාන-චීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා සංවර්ධනය ඵලදායී ලෙස පවත්වා ගෙන ගොස් ඇති බව Pezeshkian මහතා කියාසිටියේය. යටිතල පහසුකම් සහ පිරිසිදු බලශක්තිය වැනි ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට චීනය සමග කටයුතු කිරීමට ඉරානය බලාපොරොත්තු වේ. බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණය සඳහා ඉරානයේ නිල සහභාගීත්වයට සහාය වීම සම්බන්ධයෙන් චීනයට ස්තූතිවන්ත වන අතර බ්‍රික්ස් වැනි බහුපාර්ශ්වික වේදිකාවල චීනය සමග සමීපව කටයුතු කිරීමට ද ඉරානය සූදානමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මැද පෙරදිග වත්මන් තත්ත්වය පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම