චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන සංවත්සරය එරට සංවර්ධන ගමනේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි. මෙහිදී ශ්‍රී ලංකා-චීන දෙරට අතර සිද්ධි දෙකක් වටා කේන්ද්‍රගත වූ සිත්ගන්නා කතාවක් සිහිපත් කළ හැක. පළමුවැන්න ශ්‍රී ලංකාව 1948 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත් අතර, ඒ චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමට වසරකට පෙර ය. දෙවැන්න නම් චීනය සිය ප්‍රතිසංස්කරණ ඇරඹීමට වසරකට පෙර එනම් 1977 වසරේ දී ශ්‍රී ලංකාව ද නව ප්‍රතිසංස්කරණ වෙත යොමු වීමයි. එනම් දෙපාර්ශ්වයම සමකාලීනව නව ප්‍රතිපත්ති වෙත ප්‍රවේශ විය. මෙහිදී වඩා වැදගත් වනුයේ එකල චීනය සහ වත්මන් චීනයේ දැවැන්ත පරිවර්තනය බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.
1980 වර්ෂයෙන් පසු චීනයේ ආශ්චර්යමත් සංවර්ධනය ආරම්භ වූයේ අරමුණු සහ ස්ථාවර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සමගිනි. එය මෑත වර්ෂවල සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 10ක් දක්වා ගෙන ඒමටත්, මිලියන 850කට අධික ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදා ගැනීමටත් හේතු විය. මෙම සියළු සාර්ථකත්වයන් හමුවේ චීනය වර්තමානයේ ලොව දෙවන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත.
වර්තමාන ලෝකයේ විශාලතම ආර්ථිකයන් පහ වන ඇමරිකාව, යුරෝ කලාපය, ජපානය, බ්‍රිතාන්‍ය සහ චීනය එක්ව ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් දෙකක් සඳහා දායකත්වය ලබා දෙයි. COVID-19 වසංගතය සහ විවිධ ගෝලීය අර්බුද හමුවේ ඉහත සියලු ආර්ථිකයන් ගැඹුරු අවපාතයකට ඇද වැටිණ. එහෙත් ඉන් කඩිනමින් ප්‍රකෘතිමත් තත්ත්වයකට පැමිණීමට හැකි වූයේ චීනයට පමණි. ඒ චීනය සතු තිරසර ආර්ථික පදනම හේතුවෙනි.
විශේෂයෙන්ම චීනයේ අඛණ්ඩ සහයෝගී විදේශ ප්‍රතිපත්තිය දෙස ද අවධානය යොමු කළ යුතු අතර සමස්ත කලාපයේම රටවලට නව අවස්ථා නිර්මාණය කරන එහි ගෝලීය ආර්ථික දැක්ම ඒ අතරින් සුවිශේෂ වන බව ද හෙතෙම සඳහන් කරයි. මේ සියල්ල අතර “චීනයෙන් ඉගෙනීම” යන ප්‍රවේශය ඉතා වැදගත් ය. එනම් චීනයේ සාර්ථක කතාව ලෝකයේ අද්විතීය කතාවක් වන අතර, එය අන් රටවලට බොහෝ නිදසුන් සපයයි. එමෙන්ම එය වෙනත් ඕනෑම තැනක ප්‍රතිනිර්මාණය කළ හැකි චීන ආකෘතියක් නොවන බව මනාව අවබෝධ කර ගත යුතු ය. එය චීනයට අනන්‍ය වූ ක්‍රමයක් වන අතර එය සමස්ත මානව වර්ගයාට ප්රතිලාභ හිමි කර දෙන සංවර්ධන ගමනක් බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.
චීන ආර්ථික ව්‍යුහය පිළිබඳ සලකා බැලීමේ දී පළමු හා ප්‍රධානතම කරුණ නම් චීනයේ ආර්ථික වර්ධනය තිරසර කරන දැවැන්ත අපනයන වර්ධනයයි. දෙවැන්න වනුයේ විදේශ ආයෝජන සඳහා ලොව හොඳම ආයෝජන මධ්‍යස්ථානය බවට චීනය පත් ව තිබීමයි. එහෙයින් ගෙවී ගිය වසර 75 තුළ චීනයේ ආශ්චර්යය වැදගත් වන්නේ එය වර්ධන බලවේගයන් පැහැදිලිව හඳුනා ගෙන සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම නිසාවෙනි. එහෙයින් චීනයේ සංවර්ධන ක්‍රමය ස්ථාපිත කිරීමට නම් අන් රටවල් ද ප්‍රතිපත්ති සම්පාදන හැකියාව ශක්තිමත් කර ගැනීමට සිය දේශපාලන අධිෂ්ඨානය සහ ඒකාග්‍රතාවය සහතික කර ගත යුතු බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා වැඩිදුරටත් පවසයි.