සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදාහැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
පසුගිය 14 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක් වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු මඟින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වෙත අද (16)දිනයේම මුදල් බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උපකාර්යාල මඟින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට 18 වැනිදා සිට මෙම දීමනාව ලබා ගැනීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.